ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කිරීමට නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයට ඇති බාධා ඉවත් කරන්න

ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කිරීමට නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයට ඇති බාධා ඉවත් කරන්න
  • කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර ඇතුළු වගඋත්තරකරුවන්ට අභියාචනාධිකරණයෙන් නියෝගයක්

2009 වසරේ සිට අඛණ්ඩව ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කළ නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය හට තවදුරටත් එහි සාමාජිකත්වය දැරීම අහිමි වන ආකාරයට කටයුතු කිරීමට අදාලව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර, අමාත්‍යංශ ලේකම් ආර්.පී.ඒ. විමලවීර, කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සහ කම්කරු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති අංශයේ සහකාර කොමසාරිස්වරියන් දෙදෙනෙකු වගඋත්තරකරුවන් කරමින් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ භාණ්ඩාගාරික දුනුවීරගේ නිහාල් ප්‍රේමසිරි මහතා ගොනු කළ රිට් පෙත්සම 2023.08.31 දින අභියාචනාධිකරණය හමුවේ කරුණු තහවුරු කිරීම සඳහා විවෘත අධිකරණයේදී කැඳවනු ලැබිණි.

පාර්ශවයන්ගේ කරුණු දැක්වීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති තැන්පත් බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර්. මරික්කාර් යන ගරු විනිසුරුතුමන්ලා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල විසින් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවක සංගමයේ පෙත්සමෙන් අයැද ඇති අතුරු සහන නියෝගය ලබාදීමට තීරණය කරන ලදී.

ඒ අනුව, මෙම නඩුව විභාග කොට අවසන් විනිශ්චයක් ලබා දෙන තුරු බලපැවැත්වෙන පරිදි, මීට පෙර පැවති ආකාරයටම පෙත්සම්කාර නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය හට ජාතික කම්කරු උපදේශක සභාවට අඛණ්ඩව සහභාගී වීමට ඇති හැකියාව තහවුරු කරන මෙන් වගඋත්තරකාර අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ අනෙකුත් වගඋත්තරකරුවන්ට නියම කෙරුණු අතර එයට බාධා වන ආකාරයට කටයුතු කිරීමෙන් වළකින ලෙස පෙත්සම්කරුවන් විසින් අයැද ඇති සහන (2023.08.31) දින ලබා දෙනු ලැබිණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ ශා මොහමඩ් මහතා සමග නීතීඥ ලක්නාත් සෙනෙවිරත්න මහතා පෙනී සිටි අතර නීතිපති දෙපාර්තමේන්තුව විසින් වගඋත්තරකරුවන් නියෝජනය කරනු ලැබිණි. මෙම නඩුව නැවත ඔක්තෝම්බර් මස 12 වන දින කැඳවීමට නියම කෙරුණි.