වෘත්තීය සමිති නායකයන් දඩයම් කිරීම සඳහා විමර්ශන අයතා ලෙස යොදා ගන්නා බවට චෝදනාවක්

වෘත්තීය සමිති නායකයන් දඩයම් කිරීම සඳහා විමර්ශන අයතා ලෙස යොදා ගන්නා බවට චෝදනාවක්

සෞඛ්‍ය සේවාවේ පවතින ගැටළුකාරී තත්වය රෝගීන්ට සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට ගැටළුවක් විය හැකි බව කල් තියා වෘත්තීමය වශයෙන් පුරෝකථනය කරමින් වෘත්තිකයන් විසින් සිදු කරන ලද අදහස් දැක්වීම් සහ සාකච්ඡා මගින් ඇති විය හැකි අර්බුධය යම්තාක් දුරකට හෝ වලක්වා ගැනීමට හේතුවක් වූ බව අප තරයේ විශ්වාස කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් දන්වා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ඉතා මැදහත්ව සහ විද්‍යානුකූල ලෙස එම කරුණු දැක්වීම් සෞඛ්‍ය බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට අප බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා විසින් පුරෝගාමී කාර්යයක් ඉටු කල බව රටම පිළිගන්නා සත්‍යයකි.

එසේම එම බොහෝමයක් කරුණු ගතවූ මාස කිහිපයක කාලය තුල සත්‍ය බවට තහවුරු වී ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා ඖෂධ නියාමන අධිකාරියේ ඇතැම් නිවේදන මඟින් පවා ඒ බව ඉතා හොඳින් තහවුරු වේ.

කෙසේ නමුත් මෙම තත්වය හරහා පාඩු ලබන ඇතැම් සමාගම් සහ උරන වූ ඇතැම් නිළධාරීන්ගේ උසි ගැන්වීම මත, හදිසි වැටලීම් සහ විමර්ශන අංශය යොදවා ගනිමින් අප බලමණ්ඩලයේ සභාපතිවරයාට අනියම් ලෙස තර්ජන සහ බලපෑම් සිදු කිරීම අප තරයේ හෙලා දකිමු. මීට අදාලව, 2023.08.08 දින ක්‍රියාත්මක කිරීමට තිබූ වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවමින් ඔබ සමඟ සාකච්ඡා කර ඇති කරගත් එකඟතා වලට පරිභාහිරව, ඇතැම් පාර්ශව කටයුතු කිරීම නිසා 2023.08.24 දින සංකේත වර්ජනයක් දියත් කිරීමට සිදුවූ බව සිහිපත් කරමු. තවද, 2023.08.24 දින නැවත වතාවක් ඔබ හා සාකච්ඡා කරමින් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම වලක්වා ගැනීමටද, අප සාමූහිකව කටයුතු කරන ලදී.

කෙසේ නමුත් එම සියළු එකඟතා නොසලකා හරිමින් හදිසි වැටලීම් අංශය මඟින් අංක MH/FS/PI/15/2023/A-143/301 දරණ 2023. 08. 14 දිනැති හා 2023. 08. 23 දිනැති ලිපි මඟින් මූලික විමර්ශන කටයුතු අඛණ්ඩව සිදු කරමින් පවතී. ඊට අමතරව, 2022. 01. 18 දින අප සභාපතිවරයා විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලන ලද ඉල්ලීමකට අදාලව සිදු කරන ලද මූලික විමර්ශනයකට අදාලව අංක CF/DPE/2023/14 දරණ 2023. 06. 14 දිනැතිව නිකුත් කරන ලද අසාධාරණ චෝදනා පත්‍රයක් භාවිතයට ගනිමින්, අප විසින් ඉල්ලා තිබූ විමර්ශන වෙනුවට, විමර්ශනය ඉල්ලූ අප සංගමයේ සභාපතිවරයාට එරෙහිව විමර්ශන කටයුතු අරඹා ඇත.

වෘත්තීය සමිති බලමණ්ඩලයක් ලෙස විනය කටයුතු සඳහා බාධා කිරීම අප ප්‍රතිපත්තිය නොවන නමුත්, උක්ත විමර්ශන ද්විත්වය සාමාන්‍ය විමර්ශන භාවිතාවන්ගෙන් ඔබ්බට යමින් වෘත්තීය සමිති නායකයින් මර්ධනයක් ලෙස ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබෙන බැවින්, එකඟ වූ පරිදි අදාල අසාධාරණ විමර්ශන කටයුතු අත්හිටුවන ලෙස කාරුණිකව ඉල්ලමු. එසේම මෙම අර්බුධකාරී වාතාවරණය තුල සිදු කරමින් පවතින මෙවන් අනවශ්‍ය මැදිහත්වීම් හරහා ඇතිවන නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඇති වීම නොවැලැක්විය හැකි බවද පෙන්වා දෙමු.