විරෝධතා දිනයකට වෘත්තීය සමිති සමුළුවෙන් යෝජනා

විරෝධතා දිනයකට වෘත්තීය සමිති සමුළුවෙන් යෝජනා

පැවති අයහපත් කාලගුණ තත්ත්වය යටතේ වුවද දහසකට ආසන්න කම්කරු ජනතාවක් විහාරමහා දේවී එළිමහන් රංග පීඨයේ ආවරණ ස්ථානයට රැස්වූ අතර තවත් සැළකිය යුතු පිරිසක් එම ස්ථානය අවට රැස්වී සිටියහ.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය,ලංකා බැංකු සේවක සංගමය,එක්සත් කම්කරු සම්මේලනය,ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය,අන්තර් සමාගම් සේවක සංගමය,නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමය ඇතුලු මෙම විරෝධතා ව්‍යාපාරය සමග ඒකාබද්ධ වූ වෘත්තීය සමිති ගණනාවක නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.

සමුළුවේ ආරම්භක කතාව කරමින් ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක සහෝදරයා කතා කරමින් මේ රටේ කම්කරු හා පොදු ජනතා නියෝජිතයින් E.P.F හා E.T.F අරමුදලක් ඇතිකිරීම සඳහා සටන් කළේ වැඩකරන ජනතාවගේ රැකවරණය සඳහා මිස පාලකයින්ට අවශ්‍ය විදියට එම මුදල් ගසා කෑමට නොවන බව පැවසුවේය. .එම අයිතීන් උදුරාගැනීමට දරන මේ නින්දිත ප්‍රයත්නය එක පෙළකට පෙළගැසී පරාජය කළ යුතු බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

මේ ආණ්ඩුවේ කම්කරු ඇමතිවරයා කියා සිටින්නේ රටේ ආයෝජන ප්‍රවර්ධනයට අද පවත්නා කම්කරු නීති වෙනස් කළ යුතු බවයි.නමුත් මෙම ආයෝජන බිද වැටීමට හේතුව එය නොව මෙරට මැති ඇමතිවරුන්ගේ සිට වගකිව යුත්තන්ගේ කොමිස් මුදල්වලට ගිජුකම යැයි ලංකා කම්කරු සංගමයේ නියෝජ්‍ය ලේකම් චාමර නානායක්කාර සහෝදරයා කීවේය. මෙය පවත්නා කම්කරු නීතිවල හෝ කම්කරු අයිතීන්වල  වරදක් නොවන බවද ඔහු පෙන්වා දුන්නේය.

නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සභාපති ඇන්ටන් මාකස් සහෝදරයා අදහස් දක්වමින්, මෙම ප්‍රතිසංස්කරණ මෙරට පුද්ගලික කර්මාන්ත අංශවල කම්කරුවන්ගේ වැටුප හා ජීවන වියදමට කිසිසේත්ම නොගැලපෙන බවද, එමෙන්ම දිනෙන් දින වැසීයන පුද්ගලික ආයතනවල සේවකයින්ට කිසිදු රැකවරණයක් නොමැති යැයි ද ඒ අනුව කම්කරුවන්ගේ රැකවරණය ස්ථාපිත කිරීමට යෝජිත මෙම කම්කරු නීති රීති සුදුසු නැති බවද ප්‍රකාශ කළේය.

ලංකා වෘත්තීය සමිති සම්මේලනය නියෝජනය කරමින් චමින්ද පෙරේරා සහෝදරයා, කම්කරු පනත්වලට විරුද්ධව විශාල පිරිසක් රැස්වීම සුවිශේෂී දෙයක් බව කීවේය. යෝජිත  කම්කරු අණ පනත්වලට වැඩකරන ජනතාවගේ ඇති විරෝධය එයින්ම පෙනී යන බව වැඩිදුරටත් ඔහු සඳහන් කළේය.

ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සම්මේලනයේ නියෝජ්‍ය ලේකම් එස්.පී.නාදන් සහෝදරයා,ලංකා වතු සේවක සංගමයේ ලේකම් නිශාන්ත වන්නි ආරච්චි සහෝදරයා,එක්සත් කම්කරු සම්මේලනයේ සභාපතිනි ස්වස්තිකා ආරුලිංගම් සහෝදරිය මෙම සමුලුව අමතා අදහස් ප්‍රකාශ කළහ. උතුරේ දමිළ වෘත්තීය සමිති නියෝජිතයෝ මෙම සටන් පෙරමුණ ශක්තිමත් කිරීමට සහභාගීවූහ.

සමුළුව අවසන් කරමින් සභාවට ඉදිරිපත් කරන ලද වැඩකරන ජනතාවගේ අයිතීන් සුරැකීමේ ප්‍රතිඥාව,රැස්ව සිටි කම්කරු ජනතාව විසින් අත් ඔසවා ඒකමතිකව පිළිගන්නා ලදි.

ප්‍රියන්ත සිල්වා