වෛද්‍යවරුන් දැවැන්ත විරෝධතාවයකට සැරසෙයි

වෛද්‍යවරුන් දැවැන්ත විරෝධතාවයකට සැරසෙයි

ඖෂධ අර්බුදයත්, මානව සම්පත අහිමි වීමත් හේතුවෙන් මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ඉතිහාසයේ මෙතෙක් මුහුණ නොදුන් අන්දමින් දරුණු අර්බුදයක් කරා ගමන් කරමින් පවතින බව නොරහසකි.

ඖෂධ හිඟය සහ ප්‍රමිතිය සම්බන්ධ ගැටලු යම් කාල රාමුවක් තුළ විසඳාගැනීමට විකල්ප ක්‍රමෝපායන් තිබුණ ද, සෞඛ්‍ය පද්ධතියේ මානව සම්පත අහිමි වීම යනු විකල්ප නොමැති දීර්ඝ කාලීන බරපතල ප්‍රතිවිපාක ඇති කරවන සාධකයකි.

ප්‍රමාණවත් වැටුපක් නොමැති වීමත්, අයහපත් වෘත්තිය පරිසරයත්, අනාගතය පිළිබඳ ඇති අවිනිශ්චිතතාවයත් හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් 1500 කට අධික පිරිසක් මෙරටට අහිමි වී ඇති අතර ඒ හරහා මෙරට පර්යන්ත රෝහල් පද්ධතිය පවතින්නේ බිඳ වැටීමේ අනතුරකය. වෛද්‍යවරුන් රටට අහිමි වීමේ අනතුර සහ ලැබිය යුතු විසඳුම් සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති බුද්ධිගලනය පිළිබඳව කල් තැබීමේ විවාදයේදී ද කරුණු රාශියක් හෙළිදරව් විය.

අනීතික තර්ජනය කිරීම්, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීම වැනි අතාත්වික විසඳුම් වෙනුවට රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ මොහොතේ සිදු කළ යුත්තේ රට තුළ රැඳී සිටින වෛද්‍යවරුන් රැක ගනිමින්, ඔවුන්ට රට තුළ රැඳී සිටීම දිරිමත් කරන සහ ඔවුන්ට සාධාරණයක් ඉටුවන ප්‍රතිපත්ති මාලාවක් වහාම ක්‍රියාත්මක කිරීමයි.

වෛද්‍යවරුන්ට අනන්‍ය නව වැටුප් ව්‍යුහයක් හඳුන්වාදීම, ප්‍රවාහන දීමනා වහාම යාවත්කාලීන කිරීම, පශ්චාත් උපාධි අධ්‍යයන අවස්ථා පුළුල් කිරීම වැනි ප්‍රායෝගික කරුණු ඇතුළත් අට වැදෑරුම් යෝජනාවලියක් ද මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදී ඇත.

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව රැක ගැනීමත්, ඒ හරහා ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කිරීමත් සම්බන්ධයෙන් රජයට, සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇත්තේ අත්හල නොහැකි වගකීමකි. එහෙත් මේ මොහොතේ සෞඛ්‍ය පද්ධතිය මුහුණ දී ඇති වෛද්‍ය හිඟය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වන්නේ අතිශය උදාසීන ප්‍රතිචාරයකි. ගැටලු වලට ඉදිරිපත් කර ඇති ප්‍රායෝගික විසඳුම් පවා ක්‍රියාත්මක කිරීම වෙනුවට සෞඛ්‍ය අමාත්‍යවරයා එහි වගකීම වෙනත් පාර්ශව මත පටවමින් සුපුරුදු වචන හරඹ යොදා ගැටලුවෙන් පැන යාම අතිශය ඛේදජනක තත්ත්වයකි.

මෙරටට වෛද්‍යවරුන් සහ ජන ජීවිත අහිමි කරන සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වගකීම් විරහිත සහ අකාර්යක්ෂම ක්‍රියාකලාපය තවදුරටත් ඉවසිය යුතු නැති බවත්, ඊට එරෙහිව අඛණ්ඩ තීව්‍ර ක්‍රියාමාර්ග වලට යොමු විය යුතු බවත් පසුගියදා පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඒකමතිකව තීරණය කරන ලදී.

ඒ අනුව මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෛද්‍යවරුන් රැක ගැනීමට බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැවැන්ත විරෝධතාවයක් හෙට දිනයේ දී කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දී පැවැත්වීමට නියමිතය. මෙරට සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් වෛද්‍යවරුන් සහභාගි වන මෙම විරෝධතාවය, ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෛද්‍ය අධ්‍යාපනය රැකගැනීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු වගකිවයුත්තන්ට එරෙහිව අරඹන අනවරත අරගලයක ආරම්භක වෙඩි මුරය බවට පත්වනු ඇත.

ඉන් ඔබ්බට දිස්ත්‍රික් මට්ටමින් විරෝධතා සහ මහජන සම්මන්ත්‍රණ පැවැත්වීමට දැනටමත් සැලසුම් කර ඇති අතර මෙරට වෛද්‍ය ප්‍රජාවට සාධාරණය හා යුක්තිය ඉටු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අපොහොසත් වන්නේ නම් ඉදිරි මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම විරෝධතා සහ වෘත්තිය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීම සම්බන්ධයෙන් ප්‍රබල තීන්දු තීරණ ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස කිසිසේත් පසුබට නොවනු ඇත.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය