ස්ථාන මාරුවෙන් විදුහල්පතිනිගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා

ස්ථාන මාරුවෙන් විදුහල්පතිනිගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා

2016 වසරේ නක්කාවත්ත ජාතික පාසලේ විදුහල්පතිවරිය වශයෙන් කටයුතු කළ කේ. ඩී. බන්දුලානි බස්නායක මහත්මිය රාජ්‍ය සේවා කොමිසමේ රීතීන්ට පටහැනිව කිසිදු හේතුවක් නොදන්වා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට මාරු කර හැරීම තුළින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ් අනුව එම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම වෙනුවෙන් පෙත්සම්කාරියට රුපියල් ලක්ෂයක වන්දියක් සහ රුපියල් 50,000ක නඩු ගාස්තුවක් ගෙවීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රජයට නියෝග කරන ලදී.

සිය ස්ථාන මාරුව අභියෝගයට ලක්කරමින් අදාළ විදුහල්පතිවරිය විසින් ගොනුකළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව බුවනෙක අලුවිහාරේ, අචල වෙංගප්පූලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

පෙත්සම්කාරිය කියා සිටින්නේ, නක්කාවත්ත ජාතික පාසලේ විදුහල්පතිනිය වශයෙන් පත්වන අවස්ථාවේ එම පාසලේ පරිපාලනය දැඩි අවුල් ජාලයක් බවට පත්ව තිබූ බවත්, තමන් දැඩි පරිශ්‍රමයකින් කටයුතු කිරීමෙන් අනතුරුව එම පාසල "ඒ" ශ්‍රේණියේ පාසලක් දක්වා උසස් කිරීමට කටයුතු කළ බවත්ය.

ඉන්පසුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව 2016 වසරේ අගෝස්තු මස 10 වනදා රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය සහිතව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් තමන්ව වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට මාරු කිරීමට කටයුතු කළ බවත් පෙත්සම්කාරිය පවසයි.

පසුව පුරප්පාඩු වූ විදුහල්පති තනතුර සඳහා රෝහණ කරුණාරත්න නැමැත්තෙකු පත් කෙරුණු බව පෙත්සම්කාරිය කියා සිටියි.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ට ස්ථාන මාරුවීමක් ලබා දීමට කටයුතු කෙරුණු බව චෝදනා කරන පෙත්සම්කාරිය රෝහණ කරුණාරත්න නමැත්තා අදාළ විදුහලෙහි විදුහල්පති ලෙස පත් කිරීමේ යටි අරමුණින් මෙම මාරු කිරීම සිදුකර තිබෙන බවත් චෝදනා කර සිටියි.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටින්නේ, මෙම ස්ථාන මාරුව සිදුකිරීමට පෙර පෙත්සම්කාරියගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට වග උත්තරකරුවන් අසමත් වී ඇති බවත්, ඒ තුළින් රාජ්‍ය සේවා කොමිසමේ රීති 221 උල්ලංඝණය වී තිබෙන බවය.

එමෙන්ම අදාළ ස්ථාන මාරුව සම්බන්ධයෙන් හේතු පැහැදිලි කිරීමට වගඋතරකරුවන් අසමත් වී තිබෙන බවත්, අධිකරණය සිය තීන්දුවේ සඳහන් කර තිබේ.

මේ තුළින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර තිබෙන බවත්, ඒ අනුව අදාළ වන්දි හා නඩු ගාස්තු ගෙවීමට පියවර ගන්නා ලෙසත් රජය වෙත කළ නියෝගයේ වැඩිදුරටත් දැක්වෙයි.

මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු 14 දෙනෙකු නම් කර තිබුණි..