මෙරට ජනතාවට ගුණාත්මක තත්වයෙන් උසස් ඖෂධ ලබා දීම සෞඛ්‍ය  අමාත්‍යාංශයේ  ප්‍රමුඛතම කාර්යයි

මෙරට ජනතාවට ගුණාත්මක තත්වයෙන් උසස් ඖෂධ ලබා දීම සෞඛ්‍ය  අමාත්‍යාංශයේ  ප්‍රමුඛතම කාර්යයි

මෙරට ජනතාවට ගුණාත්මක තත්වයෙන් උසස් ඖෂධ ලබා දීම සෞඛ්‍ය  අමාත්‍යාංශයේ  ප්‍රමුඛතම කාර්යක් බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය  රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරයි .

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරන ලද්දේ කොළඹ 10 රාජ්‍ය ඔසුසල් පරිශ්‍රයේදි නවීකරණය කොට සංවර්ධනය කරන ලද නව ඖෂධ තත්ත්ව රසායනාගාරය විවෘත කිරීමේ උත්සව  අවස්ථාවට  (29) දින සහභාගි වෙමිනි .

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම ඖෂධ තත්ත්ව රසායනාගාරය වැඩිදියුණු කිරීම තුලින් මෙරට  ජනතාවට ගුණාත්මක තත්වයෙන් උසස් ඖෂධ ලැබෙනවා සේම රටේ ජනතාව තුළ  ඖෂධ පිළිබදව පවතින නොයෙකුත් දුර්මත දුරුවී මෙරට සෞඛ්‍ය සේවාව පිළිබදව විශ්වාසනීයත්වය යලිත් ගොඩනැගෙන බවයි.

එමෙන්ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින්  රජයේ රෝහල් වලට අවශ්‍ය ඖෂධ අඛන්ඩව ලබා දීමට කටයුතු කරන අතරම   සාධාරණ මිළට ගුණාත්මක  ඖෂධ රාජ්‍ය ඔසුසල් මගින්  ලබා දීමටද  කටයුතු සිදුකරන බවත් ඒ වෙනුවෙන් උපරිමයෙන් කැපවන බවත් ප්‍රකාශ කළේය.

මේ වන විට මෙම ඖෂධ තත්ත්ව  රසායනාගාරය තුලින් මාසයකට ඖෂධ වර්ග  පරීක්ෂාවන්  70 කට අධික ප්‍රමාණයක් සිදුකරණු ලබයි . එම පරීක්ෂණ ප්‍රමාණය වාර්ෂිකව දහස දක්වා වැඩිකිරීමට අවශ්‍ය ක්‍රමවේදයක් කඩිනමින්  සකස් කරන  ලෙසට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිළධාරීන්ට මෙහිදී උපදෙස් දුන්නේය .

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රසායනාගාරය මගින් සංස්ථාවේ ඖෂධ අදියර 4 ක් යටතේ පරික්ෂාවට ලක් කරනු ලබයි. එනම් ටෙන්ඩර් නියැදි පරික්ෂාව - නැව් ගත කිරීමට පෙර ලබාගත් නියැදි පරික්ෂාව - බෙදා හැරීමට පෙර නියැදි පරික්ෂාව සහ මහජනතාව වෙත බෙදා හැරීමෙන් පසු වෙළඳපොළ පැමිණිලි මත නියැදි පරික්ෂාවයි. මෙයට අමතරව වෛද්‍ය සැපයුම් අංශයේ ටෙන්ඩර් සාම්පල් පරික්ෂාවද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ තත්ත්ව රසායනාගාරය මගින් සිදු කරයි.

1998 වර්ෂයේ දී මෙම රසායනාගාරය  කොළඹ කොටුව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය පරිශ්‍රයේ ස්ථාපිත කර තිබුනු අතර මෙරට ජනතාවට ගුණාත්මක තත්වයෙන් උසස් ඖෂධ නිසි කලට හා වේලාවට ලබා දීම ප්‍රධාන අරමුණක් කර ගනිමින්  සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය  රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් මත මෙම රසායනාගාරය  නවීකරණය කොට සංවර්ධනය කරන ලදී.

මෙම අවස්ථාවට වැඩ බලන සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස්, සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක, කලමණාකාර අධ්‍යක්ෂ එම්. වයි .කේ. විල්ෆ්‍රඩ් යන මහත්වරුන් ඇතුලු පිරිසක් සහභාගි වූහ.