2023 ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ වාර්ෂික හමුව කොළඹදී පැවැත්වෙයි

2023 ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ වාර්ෂික හමුව කොළඹදී පැවැත්වෙයි

“ආසියාවේ පාර්ලිමේන්තුවල ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තුල සමාන ප්‍රවේශයන් ඇති කිරීම සහ විවිධත්වය”යන්න තේමා කරගනිමින් මෙවර ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ වාර්ෂික සංසද හමුව කොළඹදී පැවැත්විණ. ශ්‍රී ලංකාව ඇතුලුව තායිලන්තය, ජපානය, වියට්නාමය, තායිවානය, නේපාලය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, මැලේසියාව, භූත්නය, පිලිපීනය, නැගෙනහිර ටිමෝරය යන රටවල පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් මෙම හමුවට එක්විය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පසුගිය වසරේ සිංගප්පූරුවේ පැවැති ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ වාර්ෂික හමුවේදී සිදුකළ ආරාධනයකට අනුව 2023 වසරේ ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ වාර්ෂික හමුව මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්විණ.

යුදමය තත්ත්වයන් ඇතුළුව කාන්තාවන්ට එරෙහිව ලොවපුරා මතුව තිබෙන විවිධ වූ හිංසන වලට එරෙහිව නැගීසිටීමේ වැදගත්කම මෙන්ම ලෝකය තුල ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙවර හමුවේදී සාකච්ඡාවට ලක්විය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය නිර්මාණය කිරීම ඔස්සේ මෙරට කාන්තාවන්ගේ අභිවෘද්ධිය උදෙසා ලබාගත් ප්‍රතිපත්තිමය තීරණ හා සිදුකළ සේවාවන්ද මෙහිදී සිහිපත් කරමින් විශේෂ ඇගයීමකට ලක්විය.

මෙහි පළමු හමුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පැවැති අතර එහි සමාරම්භක අවස්ථාව සඳහා ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන, ගරු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජර්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රොමීනා කැතරිනා ප්ලොන්ස්කර්, කමිටු නියෝජ්‍ය සභාපති අංගජන් රාමානාත, ජර්මන් තානාපති, ජර්මානු KAS පදනමේ අධ්‍යක්ෂ ඇන්ඩ්‍රියස් මිචෙල් ක්ලේයින්, එහි වැඩසටහන් කළමනාකරු මේගා ෂර්මා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න, සහකාර මහලේකම් හංස අබේරත්න යන මහත්ම මහත්මීන් ද, විදෙස් රටවල් කිහිපයක රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් එක්විය.

2023 ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ වාර්ෂික හමුව සාර්ථක කරගැනීමට දැක්වූ දායකත්වය වෙනුවෙන් ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, යන මහත්ම මහත්මීන් සඳහා සමරු තිළිණ ලබාදීමද සිදු කෙරිණි.

පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් ඇතුළු පිරිස, මැතිවරණ කොමිෂන් සභාවට ගොස් එහි සාමාජිකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් හමුවී සාකච්ඡා පැවැත්විය.

එමෙන්ම ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් ඇතුළු පිරිස රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන වල සාමාජිකයින් සමග සාකච්ඡාවන් පැවැත්වීමට මෙන්ම නිරීක්ෂණ චාරිකා කිහිපයකට එක්වීමටද කටයුතු කරන ලදි.

ජර්මානු Konrad-Adenauer-Stiftung පදනමේ සහාය ඇතිව, ප්‍රතිපත්ති සාකච්ඡා සහ ධාරිතා ගොඩනැගීමේ වැඩසටහන් හරහා තම රටවල කාන්තා දේශපාලන නායකත්වය ප්‍රවර්ධනය කිරීම, ශක්තිමත් කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා 2011 වසරේ සිට ආසියානු කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් 40 දෙනෙකුගෙන් යුත් ජාලයක් වාර්ෂිකව රැස්වී ඇත. සිංගප්පූරුවේ පැවති කලාපීය සමුළුවක් හරහා 2014 දී විධිමත් ලෙස පිහිටුවන ලද AWPC පහත සඳහන් අරමුණු සාක්ෂාත් කර ගැනීම අරමුණු කරයි:

  • ආසියාවේ කාන්තා නායකත්වයට බලපාන ප්‍රතිපත්ති පිළිබඳ කලාපීය සාකච්ඡා දිරිමත් කිරීම මගින් ප්‍රතිපත්තිමය ගැටළු සම්බන්ධයෙන් වඩාත් ශක්තිමත් මැදිහත්වීම් ප්‍රවර්ධනය කිරීම
  • ජාලකරණය, පූර්ණ සැසි සහ කුසලතා වැඩිදියුණු කිරීමේ වැඩමුළු හරහා තනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැකියාවන් ශක්තිමත් කිරීම
  • ආසියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් මුහුණ දෙන නායකත්ව අභියෝග හඳුනාගෙන නායකත්ව පුහුණුව සහ ප්‍රතිපත්ති වැඩමුළු හරහා ප්‍රමාණවත් සහයෝගයක් ලබා දීම.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හා KAS පදනම එක්ව මෙවර වාර්ෂික හමුව සංවිධානය කළ අතර ඒ සදහා මූල්‍ය දායකත්වය Konrad-Adenauer-Stiftung පදනම විසින් දරණ ලදි.