“1926” ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාවට පස් වසරක් සපිරේ

“1926” ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාවට පස් වසරක් සපිරේ

“1926” ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාවට වසර 5 ක් සැපිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ උත්සවයක් සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් (16) දින අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දී පැවැතිවිණි.

මහජනතාව අත්විදින නොයෙකුත් මානසික ගැටලු නිරාකරණය කර ගැනීම සදහා මනෝවෛද්‍ය විශේෂඥයින්, මනෝ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය හා අනෙකුත් සම්පත් දායකයින්ගේ සහභාගීත්වයෙන් 2018 වර්ෂයේ දී මෙම ජාතික මානසික උපකාරක සේවාව ආරම්භ කරන ලද අතර 2020 වර්ෂයේ දී කෙටි පණිවිඩ (SMS) මගින් ප්‍රශ්නය යොමු කර උපදේශ සේවය ලබා ගැනීමේ පහසුකමත්, 2021 වර්ෂයේ දී වට්ස්ඇප් මගින් ගැටලුව යොමු කර ඊට අදාල උපදේශන සේවා ලබා ගැනීමේ පහසුකම් ආරම්භ කර ඇත.

මෙම සේවාවෙන් උපදේශනය ලබා ගත් පිරිස අතුරින් 52.8 % ක් වයස අවුරුදු 20 – 29 ත් වයස් කාණ්ඩයේ පසුවන අය වන අතර අවුරුදු 10 – 19 ත් වයස් කාණ්ඩයේ අය 30% ක් පමණ වේ. අවුරුදු 30 – 50 ත් අතර වයස් කාණ්ඩයේ අය ප්‍රතිශතයක් ලෙස 2.2% ක් පමණ වන අතර 80% ක් වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ අය බව මෙහිදී අනාවරණය විය.

2018 වසරේ සිට මේ දක්වා ඇමතුම් ලක්ෂයක පමණ ප්‍රමාණයක් මෙම සේවාවට ලැබී තිබෙන අතර එයින් හතලිස් එක්දහසක ප්‍රමාණයක් මානසික සෞඛ්‍ය තත්වය පිළිබද දැනගැනීම සදහා ලබා ගත් ඇමතුම් වේ. එම දුරකථන ඇමතුම් වලට දක්වන ලද යහපත් ප්‍රතිචාර හේතුවෙන් 15,000 කට 20,000 කට ආසන්න  පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකි වුණ බව මෙහිදී අනාවරණය විය.  කාන්තාවන් ප්‍රතිශතයක් ලෙස 63.5% ක් පමණ උපදේශන සේවාවේ සහය ලබා ගෙන ඇති අතර පිරිමින් 36.2 % ප්‍රතිශතයක් ලෙස මෙම උපදේශන සේවාවේ සහය ලබා ගෙන ඇත.

උපදේශන සේවාව පමණක් නොව වෙනත් සහන සේවාවක් අවශ්‍ය වුවහොත් එම සේවාව සැපයීමටද අවශ්‍ය කටයුතු මෙම ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව මගින් සිදුකරන අතර දිවයින පුරා දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි එ්කක 25 ක් පිහිටුවීමට පියවර ගෙන ඇති අතර 250 ක ගෙන් යුත් පුහුණු කාර්ය මණ්ඩලයක් එම ඒකක සදහා අනුයුක්ත කර ඇත.

1926 වර්ෂයේ දී ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය ආරම්භ කර ඇති අතර එම වර්ෂය මෙම උපදේශන සේවාවේ දුරකථන අංකය ලෙස යොදාගෙන ඇත. “1926” අංකයට ඇමතුමක් ලබා ගැනීමෙන් හෝ කෙටි පණිවිඩයක් (SMS) ලෙස ගැටලුව යොමු කිරීමෙන්ද, 0755551926 අංකයට වට්ස්ඇප් (Whatsapp) පණිවිඩයක් මගින් ඔබගේ ගැටලුව ඉදිරිපත් කිරීමෙන්ද, ඔබගේ ගැටලුවට ක්ෂණික ප්‍රතිචාර ලබා දීමට කටයුතු කරනු ඇත.

මෙම අවස්ථාවට ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා විජේසිංහ, ජ්‍යෙෂ්ඨ මනෝ වෛද්‍ය විශේෂඥ පුෂ්පා රණසිංහ, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය නියෝජන්‍ය කරමින් පරිපාලන නිලධාරී තිලක් රණසිංහ, එයාර්ටෙල් සමාගමේ සන්නාම සන්නිවේදන ප්‍රධානි චරිත් සිගේරා යන මහත්ම මහත්මින් ද විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන්  ඇතුළුව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ද සහභාගී වුහ.