වෛද්‍ය-කනිෂ්ඨ සේවක ගැටුම දුරදිග යයි-සේවකයින් තිදෙනෙකු අත්අඩංගුවට

වෛද්‍ය-කනිෂ්ඨ සේවක ගැටුම දුරදිග යයි-සේවකයින් තිදෙනෙකු අත්අඩංගුවට

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා අංශය භාර විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට පහර දුන් බව කියන රෝහල් කනිෂ්ඨ කාර්යමණ්ඩල සේවිකාවක සහ සේවකයන් දෙදෙනෙකු ගාල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ වෛද්‍යවරයා විසින් පසුගිය 17 වැනි දා ගාල්ල පොලීසියට සිදු කරන ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 52 හැවිරිදි සෞඛ්‍ය කාර්ය සහායිකාවක් සහ 45 හැවිරිදි හා 43 හැවිරිදි කාර්ය සහායකයන් දෙදෙනෙකි.

පසුගිය 16 වැනි දා පැවති සෞඛ්‍ය සේවක වැඩ වර්ජනය මුල් කරගනිමින් කරාපිටිය රෝහලේ පිළිකා අංශයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සහ එම ඒකකය භාර විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා අතර ආරවුලක් හටගෙන තිබූ අතර, එහි දී කණිෂ්ඨ සේවකයන් විසින් තමාට පහර දුන් බවට වෛද්‍යවරයා මෙම පැමිණිල්ල සිදු කර තිබේ.

මේ අතර, එම අවස්ථාවේ වෛද්‍යවරයා විසින් පහර දුන් බව කියන කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවිකාවක් රෝහල්ගත කර තිබූ අතර, සිද්ධියට අදාළ ව පසුගිය 18 වැනි දා අත්අඩංගුවට ගත් විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව හෙට (22) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

මෙම සිද්ධියට අදාළව හිතා මතාම රජයේ වෛද්‍යවරුන් සත්‍යය වසන් කරමින් පරීක්ෂණ නොමග යවමින් සිටින අතර සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තම අධිකාරිය යටතේ අත්තනෝමතිකව, ම්ලේච්ඡ සහගතව සලකමින්  මෙම වෛද්‍යවරයා එදින බීමත්ව රෝහලට පැමිණ කළ තර්ජන හා පහරදීම් නොසළකා ඒ් සම්බන්ධයෙන් හෝ මෙතෙක් පරීක්ෂණයක් කර නැති බවට රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය චෝදනා කරයි.

සැකකාර වෛද්‍යවරයා රක්ෂිත බන්ධනාගාර ගත කළද, බන්ධනාගා ගත නොවී බන්ධනාගාර නිලධාරියෙකුගේ ආරක්ෂාව යටතේ පුද්ගලික රෝහලක නැවතී ප්‍රතිකාර ගන්නා මුවාවෙන් රැඳී සිටින බව විශ්වසදායි ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් ලිපියක් යොමු කරන සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය  මෙසේ දක්වයි.

“අප විසින් යොමු කරන ලද අංක HSTUA/Gen/2024 (03) දරණ 2024.01.20 දිනැති ලිපිය හා 2024.01.18 දින “118 මාර්ගගත හදිසි පැමිණිලි පද්ධතිය” හරහා යොමු කරන ලද අංක ECS5892735 දරණ පැමිණිල්ල හා බැඳේ.

වෛද්‍ය ආචාරධර්ම වලට හා සමාජ සදාචාරයන්ට සම්පූර්ණයෙන්ම පටහැනි වෙමින් තම වර්ගයාගේ පැවැත්ම හා ගෞරවය මත පමණක් පිහිටා සත්‍ය කණපිට පෙරලීමත්, උක්ත සංසිද්ධියට අදාල සැබෑ වින්දිතයන් අපරාධකරුවන් බවට පත්කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ වෘත්තීය සමිති නායකයින් හා අදාල සාමාජිකයන් ඉලක්ක කර ගනිමින්  කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් කීපදෙනෙක් විසින් ගෙනයනු ලබන අසාධාරණ, අනීතික, සාදාචාරාත්මක නොවන සහ ව්‍යාජ ක්‍රියාපිළිවෙල ඉතා පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

මේ වන විටත් බලය සහිත වෛද්‍ය වෘත්තික ප්‍රජාවගේ උන්නතිය පමණක් පාදක කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය විසින් සිදු කරනු ලැබූ විනය පරීක්ෂණ වලදී එසේ වින්දිතයන් වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ වූයේද යන සාධාරණ සැකය තහවුරු වෙමින් පැවතීයදී පවා නීතියේ ආධිපත්‍ය සැමට සාධාරණ අයුරින් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඔබතුමා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව වගවන්නේද යන්න පිළිබඳවත් අප දැඩි අවධානයෙන් පසු වන බවත් පෙන්වා දෙමු.

කෙසේ නමුත් උක්ත කරුණ අදාළව පහත කරුණු පිළිබඳව ඔබතුමාගේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කරවන අතරම අපක්ෂපාතීව මැදිහත් වෙමින් සිද්ධියට අදාල සැබෑ වින්දිතයන්ට සාධාරණයක් ඉෂ්ඨ කිරීම වෙනුවෙන් මැදිහත්වන වනු ඇතැයිද අප උදක්ම බලාපොරොත්තු වෙමු.”