කැබිනට් මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති නීතියේ පිහිට පතයි

කැබිනට් මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති නීතියේ පිහිට පතයි

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සමාගම් දෙකක් වශයෙන් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල විසින් ගෙන තිබෙන තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා පොදු සේවකයින්ගේ වෘත්තීය සමිතියේ මහ ලේකම් උදයංග රත්න දිවාකර මහතා විසින් ඊයේ (01) අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

නීතිඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ගොනුකළ එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා, අමාත්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු 56 දෙනෙකු නම් කර ඇත.

පෙත්සම්කරු පවසන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සමාගම් දෙකකට වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණයක කර ඇති බව තමාට දැන ගැනීමට ලැබුණු බවයි.

රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ඉකුත් අප්‍රේල් මස 25 වනදා නිකුත් කළ ලිපියක ද ඒ බව සඳහන් කර ඇති බවත්, පෙත්සම්කරු පෙන්වා දෙයි.

එම තීරණය සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොමැති බවත්, පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමකින් තොරව මෙවැනි තීන්දුවක් ගැනීමට අමාත්‍ය මණ්ඩලයට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවත් ඔහු සිය පෙත්සමෙන් අවධාරණය කරයි.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවත්, එමගින් ජනතාවට විශාල සුබසිද්ධියක් සැලසෙන බවත් පෙත්සම්කරු කියා සිටියි.

ඒ අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සමාගම් දෙකක් වශයෙන් වෙන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.

ඊට අමතරව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වත්කම් සහ දේපළ අලුතින් ස්ථාපිත කිරීමට යෝජිත සමාගම් දෙකකට වෙන් කර ලබාදීම වළක්වාලමින් එහි අධ්‍යයක්ෂ මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියි.