නීති විරෝධී අණපනත්වලට විරෝධය පලකරමින් සිවිල් සමාජ සංවිධාන රජයේ හවුල්කාරිත්වයෙන් ඉවත්වේ

නීති විරෝධී අණපනත්වලට විරෝධය පලකරමින් සිවිල් සමාජ සංවිධාන රජයේ හවුල්කාරිත්වයෙන් ඉවත්වේ

සිවිල් අවකාශය හකුලන පීඩාකාරී සහ ප්‍රජාතන්ත්‍රවිරෝධී නීතිවලට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකාවේ විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව (OGP) ක්‍රියාවලියට සම්බන්ධ සිවිල් සමාජ සංවිධාන එම ක්‍රියාවලියෙන් ඉවත් වූ ජනාධිපතිවරයා වෙත දන්වා යැවූ  එම සංවිධාන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

ශ්‍රී ලංකාවේ විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව (OGP) වැඩසටහනට අදාළව තුන්වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට දායකවෙමින් සිටි සිවිල් සමාජ සංවිධාන (CSOs) ඉන් ඉවත් වීමට සාමූහිකව තීරණය කර ඇත. ඒ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත (Online Safety Act) සම්මත කිරීම සහ පුළුල් මහජන ප්‍රතිරෝධය නොතකා මර්දනකාරී වගන්ති ඇතුළත් ත්‍රස්ත විරෝධී නීතියක් හඳුන්වා දීමට උත්සාහ කිරීම වැනි ආණ්ඩුවේ මෑත කාලීන ක්‍රියාමාර්ග වලට විරෝධය ප්‍රකාශ කිරීමක් ලෙසයි. සිවිල් අවකාශය මෙන්ම ජනතාවගේ මූලික නිදහස අවහිර කරන රජයේ මෙවැනි ක්‍රියාමාර්ග පැහැදිලිවම OGP මූලධර්ම උල්ලංඝනය කිරීමක් වේ.

ශ්‍රී ලංකාවේ OGP ක්‍රියාවලියට සම්බන්ධ සිවිල් සමාජ සංවිධානවල සම කැඳවුම්කරුවන් වශයෙන් කටයුතු කරන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) සහ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය මෙම සාමූහික තීරණය ජනාධිපතිවරයා වෙත අද නිල වශයෙන් දැනුම් දෙන ලදී.

ජනාධිපතිවරයා වෙත යැවූ සම්පූර්ණ ලිපිය මේ සමග (ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින්) අමුණා ඇත.

පසුබිම් තොරතුරු:

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) යනු රජයේ විනිවිදභාවය ඉහළ නැංවීම, පොදු ගැටළු සඳහා පුරවැසියන්ගේ සහභාගීත්වය සහතික කිරීම සහ මහජන වගවීම සඳහා යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන බහුපාර්ශ්වීය වැඩසටහනකි.

මේ වන විට රටවල් 70කට වඩා වැඩි ගණනක් මෙන්ම තවත් පළාත් පාලන ඒකක රැසක් විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයෙහි සාමාජිකත්වය දරයි. සිවිල් සමාජ සංවිධාන දහස් ගණනකගේ දායකත්වය ද මෙයට ලැබේ. OGP ක්‍රියාවලියට සහභාගී වන සියලුම රටවල් තෝරාගත් ක්ෂේත්‍ර තුළ යහපාලනය ඇති කිරීම පිණිස වසර දෙකකට අදාළ වන පරිදි ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සිවිල් සමාජයේ සහභාගීත්වය සහිතව සම්පාදනය කළ යුතු වෙයි.

2015 වසරේ ශ්‍රී ලංකාව OGPහි සාමාජිකත්වය ගනිමින් එම ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තර බැඳීමක් ඇති කර ගන්නා ලදී. එතැන් සිට ජාතික ක්‍රියාකාරී සැලසුම් දෙකක් සකස් වූ නමුත්, ඒවා ඉදිරියට ගෙන යෑමේදී විවිධ අභියෝග වලට මුහුණ දුනි.

ජනාධිපතිවරයා වෙත යැවූ ලිපිය පහතින් දැක්වේ