ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය මර්දනය කිරීමේ උත්සාහයක් පිළීබඳව කතානායකවාරයා දැනුවත් කරයි

ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය මර්දනය කිරීමේ උත්සාහයක් පිළීබඳව කතානායකවාරයා දැනුවත් කරයි

මාධ්‍යවේදීන්ට එරෙහිව පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද නීතිය භාවිත කරමින් ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය මර්දනය කිරීමට දරන උත්සාහය පිළිබඳව මාධ්‍ය සංවිධාන එකමුතුව කතානායකවරයා වෙත ලිපියක් යවමින් කියා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, පෙබරවාරි 08 දින පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ විසින් 2024 ජනවාරි 28 වැනිදා නිකුත් වූ ඉරිදා ලංකාදීප පුවත්පත උපුටා දක්වමින් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනු ලැබුවේ එහි මුල් පුවත ලෙස සඳහන් ‘ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධන ඔන්ලයින් පනතේ නෑ, කතානායක අත්සන යෙදීමට පෙර පක්ෂ නායක රැස්වීමක් ඕනෑ, විපක්ෂයෙන් දැඩි ඉල්ලීමක්’ යනුවෙන් පළකර ඇති පුවත නිසා එම පනතට ඡන්දය ලබාදුන් මන්ත්‍රීවරයෙකු වශයෙන් තමාගේ වරප්‍රසාද කඩවී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ බලතල හා වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කරන ලෙසය. එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඔබ ප්‍රකාශ කළේ එය වරප්‍රසාද ප්‍රශ්නයක් වශයෙන් කමිටුවට ඉදිරිපත් කරන බවය.

මෙම ලිපියට අත්සන් තබන ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය සංවිධාන වශයෙන් අප සැවොම, ජනමාධ්‍ය මර්දනය කිරීම සඳහා පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද නීතිය යොදා ගැනීමට ආණ්ඩුව දරමින් සිටින පටු උත්සාහයන් පිළිබඳව දැඩි අවධානයකින් පසුවන අතර ජනමාධ්‍යවේදීන් බිය ගැන්වීම මගින් මහජනතාවට සත්‍යය දැනගැනීමට ඇති අයිතිය අවහිර කිරීමට දරමින් සිටින සියලුම පටු උත්සාහයන් පිළිකුළින් යුතුව හෙළාදකිමු.

ලංකාදීප පුවත්පත පළකර තිබූ එම පුවත අසත්‍ය තොරතුරු මත පදනම්ව ලියාඇති ප්‍රවෘත්ති වාර්තාවක් නොවන අතර එම වාර්තාව මගින් උත්සාහ දරා තිබුණේ ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කරගැනීමේ ක්‍රියාවලියේදී සිදුවී ඇති බරපතල අඩුපාඩු රටේ පුරවැසියන්ගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කිරීමට බව අප සැමගේ අදහසයි. එය ජනමාධ්‍යයට පැවැරෙන සමාජ වගකීම ඉටුකිරීමකි. පනත් කෙටුම්පතේ පැවැති දුර්වලතා නිසා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස ජනමාධ්‍ය, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ විපක්ෂය ආරම්භයේදීම ගරු කථානායකවරයා වශයෙන් ඔබ තුමන්ගෙන් ඉල්ලා සිටි අතර පනත විවාදයට ගැනීමට පෙරත්, එම ඉල්ලීම් නොසලකා එය විවාදයට ගැනීමට තිරණය කිරීමෙන් පසුවත් අවස්ථා ගණනාවකදීම විපක්ෂය ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් ඉල්ලා සිටි බව මේ වනවිට රටම දන්නා සත්‍යයකි. එම ක්‍රියාවලිය සිදුවූ වැරදි සහගත ආකාරය පිළිබඳව මේ වනවිට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු ප්‍රමුඛ පෙළේ සංවිධාන කිහිපයක්ම මාධ්‍ය නිවේදන නිකුත් කරමින් සවිස්තරාත්මකව පෙන්වා දී තිබේ.

මෙම පනත සම්බන්ධයෙන් හෝ වෙනත් පනතක්  සම්බන්ධයෙන් විපක්ෂය විසින් කරන ලද ඉල්ලීමක් මාධ්‍ය මගින් වාර්තා කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩකිරීමක් වන්නේ කෙසේද? යන්න ප්‍රශ්නයකි. මෙහිදී ජනමාධ්‍ය උත්සාහ දරා ඇත්තේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් වාර්තා කරමින් එම ක්‍රියාවලිය නිවැරදි කිරීමට මිස කවර ආකාරයකින් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදවලට බලපෑමක් කිරීමට නොවනබව අපගේ විශ්වාසයයි. එය ජනමාධ්‍යයට පැවැරී ඇති කාර්යභාරයකි, සමාජ වගකීම ඉටුකිරීමකි. ඒ නිසා එම පුවත සම්බන්ධ කරුණ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද කමිටුව වෙත යොමු කිරීමට ඔබතුමා විසින් ගනු ලැබූ තීරණය අපගේ විමතියට හේතු වී ඇති අතර 'නඩු ඇසීමේ සහ දඩුවම් නියම කිරීම් නිශ්චිත පටිපාටියක් නොමැති' යල්පැනගිය නීතියක් උපයෝගී කරගනිමින් ජනමාධ්‍ය මර්දනය කිරීමට ආණ්ඩුව දරන උත්සාහය පිළිබඳව අප දැඩි විමසිල්ලෙන් යුතුව බලාසිටින බවද ඔබතුමන් වෙත දැනුම්දීමට මෙය අවස්ථාවක් කර ගනිමු.

මෙම තත්ත්වය ජනමාධ්‍යවේදීන්ට නිදහසේ වාර්තා කිරිමට ඇති අයිතියට බාධාකිරීමක් වන අතර  එය මහජනතාවට සත්‍ය හා නිවැරදි තොරතුරු දැන ගැනීමට ඇති අයිතියද අවහිර කිරීමකි.

එම නිසා අප ඉතා ඕනෑකමින් යුතුව ගරු කතානායකවරයා වශයෙන් ඔබතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ  පාර්ලිමේන්තුවේ බලතල හා වරප්‍රසාදවලට මුවාවී මාධ්‍ය මර්ධනය කිරීමට ආණ්ඩුව දරමින් සිටින උත්සාහයට ඔබතුමාගේ දායකත්වය ලබානොදෙන ලෙසය.

මීට පෙරත් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද  කමිටුව හමුවට ජනාමාධ්‍යවේදීන් කැඳවූ අවස්ථා මෙන්ම කැඳවීමට උත්සාහ ගත් අවස්ථා තිබූ අතර ඒ සෑම අවස්ථාවකම ඒ සම්බන්ධයෙන් අපගේ දැඩි විරෝධය හා පිළිකුල පළකළ බවද, අප තවදුරටත් එම ස්ථාවරයේම සිටින බවද ඔබතුමන් වෙත වැඩිදුරටත් සිහිපත් කරමු.