සෞඛ්‍ය වර්ජනය ගැන සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්

සෞඛ්‍ය වර්ජනය ගැන සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්

සෞඛ්‍ය  සේවාව තුල ක්‍රියාත්මක වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරිම සදහා විශේෂ මාධ්‍ය හමුවක් අද (13) සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

මෙම මාධ්‍ය හමුව සදහා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ද ‍එක්ව සිටියහ.

මෙහිදි සෞඛ්‍ය අමාත්‍යවරයා සිදු කළ අදහස් දැක්වීම පහත පරිදි වේ.

“සෞඛ්‍ය අමාත්‍යාංශය හා සම්බන්ධ වෘත්තීය සමිති ගණනාවක් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගනිමින් තිබෙනවා. ඒ සම්බන්ධව කරුණු පැහැදිලි කිරිමට මෙම මාධ්‍ය හමුව පවත්වනු ලබනවා.”

“වෛද්‍යවරුන්ටත්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ටත් විශේෂ දීමනාවක් ලෙස ලබාදුන් දීමනාවක් සම්බන්ධයෙන් මෙම වෘත්තීය අරගලය ක්‍රියාත්මක වෙනවා. මෙම ගැටළුව මතු වූ මුල් අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එම වෘත්තිකයින් සාකච්ඡා සිදු කළා. මෙම ගැටළුව මුල්‍යමය කාරණයක් බැවින් මුදල් අමාත්‍යාංශයට සම්බන්ධ කළා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා මේ සම්බන්ධයෙන් අදාල වෘත්තිකයිනක් සමග සාකච්ඡා කළා. එහිදී ඇති වූ එකඟතාවය මත නැවත එ්  සම්බන්ධයනේ සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යාංශය සමග කමිටුවක් පත් කිරිමටත් තීන්දු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ දිනය තුල මුදල් අමාත්‍යාංශයෙහි අතිරේක ලේකම්තුමියගේ ප්‍රධනත්වයෙන් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ සහභාගීත්වයෙන් අදාල වෘත්තිකයින් සමග සාකච්ඡාවක් සිදු කළා.”

“පවතින සීමිත මුල්‍ය අවකාශය තුළ විසදුම් ලබාදීමට ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්නට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබුනා. අදාල විසදුම ලබාදීමට පාදක වන මුල්‍ය ප්‍රමාණය පිළිබදව අදාල වෘත්තිය සමිති එකඟතාවය පළ කර තිබුනේ නැහැ. එම හේතුවෙන් අද දින නැවැත වතාවක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන්නේ.”

“අපි මෙහිදි සදහන් කරනු ලබන කාරණය නම් මේ සෑම වෘත්තිකයෙක්ම අපිට ඉතා වටිනවා. මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතියට ඔවුන් විශාල සේවයක් ඉටු කර තිබෙනවා. ඉටු කරමිනුත් සිටිනවා.  වෛද්‍යවරුන්ටත්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ටත් විශේෂ දීමනාවක් ලබාදීම කියන කරුණ පසුගිය කාලය පුරාම ජනගත වී තිබූ කාරණයක්. මෙරට ඇති වූ මූල්‍ය හා ආර්ථික අර්බුධ හමුවේ වෛද්‍යවරු 1300 ක් පමණ රටින් බැහැර වී තිබෙනවා. ඔවුන්ට මෙම දීමනාව ලබාදි තිබෙන්නේ ඇති වූ බදු අර්බුධයෙන් ඔවුන් විශාල ලෙස පීඩාවට පත්වන කොට්ඨාසයක් ලෙස සැළකිල්ලට ගෙනයි. මෙම දීමනාවෙන් ලැබෙන විශාල මුදල් කොටසක් නැවත රජයට බදුහැටියට අයවෙනවා. මේ හරහා විශාල මුදල් ප්‍රමාණයක් ඔවුන්ට හිමි වෙන්නේ නොමැති බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුනා.”

“සියළු රාජ්‍ය සේවකයින්ට පවතින අපහසුතා සැළකිල්ලට ගෙන ජනාධිපතිතුමා රුපියල් 10,000 කින් වැටුප් වැඩි කිරීමට පියවර ගත්තා. එහි කොටසක් දැනටමත් ලබාදෙනවා. අප්‍රේල් මසින් පසු සම්පූර්ණ මුදල ලැබෙනවා. අප්‍රේල් මාසය තුලදි මුදල් අමාත්‍යාංශය රාජ්‍ය සේවකයින්ට වැටුප් දෙකක් ගෙවිය යුතුව තිබෙනවා. එම තත්ත්වයන් පිළිබදව මුදල් අමාත්‍යාංශය පැහැදිලිකිරිමක් සිදු කළා.”

“අපි සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස සියළුම වෘත්තිකයින්ගෙන් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා වෘත්තීය ක්‍රියාමාර්ග හරහා අපහසුතාවයට පත්වන මෙරට ජනතාව පිළිබදව සැළකිල්ලට ගෙන වෘත්තිමය කටයුතු නැවත ආරම්භ කර මෙරට ජනතාව වෙනුවෙන් සේවාවන් පවත්වාගෙනයාමට උදව් කරන ලෙස.” යැයි ද වැඩිදුරටත් පැවැසීය.