පූර්ණ පුද්ගලීකරණයෙන් අඳුරු වන අපේ හෙට දවස...

පූර්ණ පුද්ගලීකරණයෙන් අඳුරු වන අපේ හෙට දවස...

(ටෙලිකොම් වෘත්තීය සමිති පෙරමුණ බෙදාහරින ලද පත්‍රිකාවකි)

ඕනෑම අයෙක් සිය රැකියාව අරඹන්නේ දහසකුත් එකක් බලාපොරොත්තු සිහින රාශියක් පොදි බැඳගෙන බව අපි කවුරුත් දන්නා එහෙත් ප්‍රසිද්ධියේ කතා කිරීමට මැලි කමක් දක්වන කරුණකි. ශ්‍රී ලංකා ටෙලිකොම්හි රාජකාරී සඳහා එක් වූ ඔබට ද එය එලෙසින්ම අදාළ වන බව ඔබ අපි අත්දැකීමෙන්ම තේරුම් ගෙන ඇත්තෙමු. වසර දෙක

තුනක මෙන්ම වසර තිහ ඉක්මවූ සේවා කාලයක් ඇති විවිධ ක්ෂේත්‍රවල රාජකාරී ඉටු කරන ඔබ සැමට ද අනාගත සිහින අපේක්ෂා නොමැත්තේ යැයි කිව හැකි ද? යහපත් සමාජ තත්ත්වයක්, තමන්ගේම නිවසක්, දුවා දරුවන්ට උසස් අධ්‍යාපනයක් හා රැකියාවක් සතුටුදායක විශ්‍රාමික දිවියක් වැනි පෞද්ගලික අපේක්ෂා මෙන්ම ඉහළ

තනතුරක වගකීම් දැරීම හා කළමණාකාරීත්ව තීරණයන් හට දායකවීම වැනි වෘත්තීය අපේක්ෂාවන් ද නොමැත්තෙක් අප අතර සිටින්නේ යැයි සිතන්නට හැකි ද?

නමුත් අපගේ සිහින මෙන්ම හෙට දවස ද අගාධයට ඇද දැමීම උදෙසා ජනමතයක් නොමැති වත්මන් ජනාධිපතිවරයාත්, කොමිස් කාක්කන් සහ ඔහුගේ සහචරයන් රැළත්, බල කෑදරකමට සියල්ලට අත ඔසවන ආණ්ඩුවේ තක්කඩින් රැළත් සිය උපරිම ශක්තිය යොදවමින් සිටින්නේ අපගේ ජීවිතය වන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් නොරටුන්ට විකිණීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීම උදෙසාය.

අප ආයතනයේම ඇතැමුන් මෙම පෞද්ගලීකරණයේ සැබෑ ඇතුල් පැත්ත දකින්නට අපොහොසත්ව ඇත. අර්බුදයක් තුළ අනාගතය දැකීමට හැකියාවක් නොමැති තත්ත්වයකට පත්ව ඇති මොහොතක යෝජිත ක්‍රියාවලියේ ආදීනව පිළිබඳ ඔබව දැනුවත් කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු. අප වෙත ලැබෙන තොරතුරු අනුව මෙම ගනුදෙනුව ද අන්ත දූෂිත එකක් වන අතර, හුදෙක් ලාභ ඉපැයීම උදෙසා කිසිදු සදාචාරයක් නොතකන ඉන්දීය ව්‍යාපාරිකයෙක් අතට මෙම ආයතනය අපත් සමඟ පත් කිරීම නරුම පාලකයන්ගේ ඉලක්කයයි. වසර 166 ක් ඉපැරණි ශ්‍රී ලංකා ටෙලිකොම් නාමය ද එයින් වියැකී ගොස්, ඔවුන්ගේ ඉල්ලීම පරිදි සේවක සංඛ්‍යාව හරි අඩකින් ඉවත් කිරීම උදෙසා මාස කීපයක සොච්චම් මුදලක් වන්දියක් වශයෙන් ලබා දීම උදෙසා වන, කම්කරු නීති සංශෝධන නීති කෙටුම්පත් කිරීම ද හොර රහසේ සිදුවන්නේය.

1990 - 1991, 1995 - 1997 කාල පරිච්ඡේදයන්හි එවක වෘත්තීය සමිති හා සේවක සේවිකාවන් එකාවන්ව සටන් කොට සහතික කර ගත් සේවක රැකියා සුරක්ෂිතතාව මෙවර අහෝසි කිරීමට කටයුතු කෙරෙන බව ඔබ දන්නේ ද? ඇතැමුන් සිහින දකින්නේ එදා භඔඔ ආයතනය සමඟ ඇති වූ ආකාරයේ ගිවිසුමක් තුළින් සියල්ල ශුභවාදීව සිදුවන බවක් වුවත්, එය එදා අප සියලු දෙනා එක්ව වසර ගණනාවක් අඛණ්ඩව කළ දැවැන්ත අරගලයේ ප්‍රතිඵලයක් බව සිහිපත් කරමු.

නමුත් අද රජය මෙන්ම මෙම ගණුදෙනුවෙන්, බලලෝභී පිපාසය සංසිඳවා ගැනීමට හා කොමිස් කුට්ටි ලැබීමට අපේක්ෂා කරන චෞර රැළ සමඟ එවැනි දෙයක් සිදුවීම හුදු සිහිනයක්මය. එසේම යෝජිත කම්කරු නීති සංශෝධනය හරහා ඔබගේ සේවා කාලය අවම වශයෙන් සතියකට පැය 54 ක් වන අතර, කාන්තාවන් රාත්‍රී රාජකාරීවල යෙදවීමේදී වන සේව්‍යයා විසින් සැපයිය යුතු පහසුකම් වැනි දෑ දැනටමත් අහෝසි කර පාර්ලිමේන්තුව තුළ සම්මත කර අවසන්ය.

ඔබගේ වාර්ෂික නිවාඩු සංඛ්‍යාව සීමා නොවෙතැයි සහතිකයක් දිය හැකි කෙනෙක් අප ආයතනයේ හෝ රජයේ පාර්ශවයේ සිටින්නේ ද?

පසුගිය කොවිඩ් වසංගත සමයේ වෘත්තීය සමිතිවල මැදිහත්වීම ද මත සේවක අප වෙනුවෙන් ක්‍රියාත්මක වූ සුභසාධන කටයුතු හෝ නිවසේ සිට වැඩ කිරීමේ අවස්ථාවන්, පෞද්ගලික අංශයේ ක්‍රියාත්මක වූයේ කෙසේදැයි සොයා බලන ලෙස ඉල්ලා සිටිමු.

මේ රටේ දහස් ගණනක් සිය රැකියාවෙන් දොට්ට දැමූ මෑත කාලීන ඉතිහාසයක් අප සතුව ඇති බව යළිත් සිහිපත් කරමු. 1990 දශකයේ අග භාගයේ චන්ද්‍රිකා ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ලද පෞද්ගලීකරණය යටතේ

ඔරුවල වානේ, තුල්හිරිය පෙහෙකම්හල, වී අලෙවි මණ්ඩලය වැනි ආයතනවල සේවකයන් ඉවත් කළ ආකාරය යළි යළිත් සිහියට නගා ගත යුතුව ඇත. එම කාලවකවානුවේම යුනි ලීවර් ආයතනයේ හා මැලිබන් සමාගමේ දහස්

ගණනක් සේවයෙන් ඉවත් කරනු ලැබුවේ කිසිදු වන්දියක් ද නොදෙමින් වන අතර, මේ සම්බන්ධව ඔවුන් ගත් වෘත්තිය ක්‍රියාමාර්ග හා නීතිමය කටයුතු කාලය සමඟ වියැකී ගියා මිස ඔවුන්ට අත් වූ සහනයක් නැත.

එසේම ටෙලිකොම් ආයතනය වසා දමා, අර්ථසාධක අරමුදල් මහ බැංකුවේ තැන්පත් කිරීම

තුළින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ ඔබගේ ෑඡත්‍ අරමුදලින් 50% කට ආසන්න මුදලක් ඔබට අහිමි වනු ඇත. නව සේවා අංකයක් යටතේ නවක සේවකයෙකු ලෙස කොටසක් පමණක් යළි සේවයට බඳවා ගැනීම සඳහා ද යෝජනාවක් ඉදිරිපත්ව ඇත. එවිට අප සියළු දෙනා නවක සේවකයන් වන අතර, සියලු පෙර වරප්‍රසාද අහෝසි වන්නේය. දැනට 15% ක් වන ආයතනයේ ෑඡත්‍ දායකත්ව ප්‍රතිශතය, 12% ක් දක්වා අඩු වන්නේය. ප්‍රතිලාභ

ලබා ගැනීමට බී-කාඩ් සකසාගත යුතු අතර, වයස 55 තෙක් බලා සිටිය යුතු වෙමු.

එපමණක් නොව අපගේ තරඟකරුවා වන ඩයලොග් ආයතනයේ ද විධායක නිලධාරීන්ගේ සිට පහළම ස්ථරය දක්වා සේවකයන් පිරිසක් මෑත ඉතිහාසයේ ඇඟිල්ලක් දිගු කර පෙන්වා ඉවත් කළ බවත්, ටෙලිකොම්හි සේවය කොට එම සමාගම හා එක් වූ ඇතැම් ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුටත් එම අවාසනාවන්ත ඉරණම අත් වූ බවත් සමහර විට ඔබ ද දන්නවා ඇත.

අප කවුරුත් නොපිළිගන්නා, සමාගමේ වත්මන් කාර්ය සාධනය පදනම් කර ගනිමින් සේවකයන් එහේ මෙහේ මාරු කරන, උසස් වීම් අහුරනු ලබන ඇතැම් ඉහළ නිලධාරීන් අනාගතයේදී පෞද්ගලික අයිතිකරුගේ නියෝග හමුවේ

තම පුටුව හෝ රැකියාව වෙනුවෙන් පහළ සේවකයන් කෙසේ තළා පෙළා දමනු ඇත්දැයි සිතාගත හැකි ද? සැමියා හා බිරිඳ දෙදෙනාම මෙම ආයතනයේ සේවය කරන්නේ නම් මෙම තත්ත්වය තුළ සිය පවුලම බලවත් අවදානමකට

ලක්ව සිටින බව අමුතුවෙන් කිව යුතු යැයි නොසිතමු.

ප්‍රිය සහෝදර, සහෝදරයනි,

අපගේත් පවුලේ සාමාජිකයන්ගේත් හෙට දවස රැඳී ඇත්තේ ටෙලිකොම් ආයතනය මත බව යළි යළිත් සිතට ගන්නා මෙන් ඉල්ලා සිටිමු. එහෙත් අප සමාගම ආරක්ෂා කර දෙන්නට අපගේ දායකත්වය නොමැති සටනක් සඳහා කිසිදු පාර්ශ්වයක් පෙරට එන්නේ නැත. එසේ හෙයින්,

  • වෘත්තිය සමිති නායකත්වයට ශක්තියක් වෙමින් සැබෑව තේරුම් ගනිමින් සමගිව සටන් වදිමු.
  • ඔබගේ හිතවතුන් දැනුවත් කරමින් හැකි අයුරින් සියලු දෙනා මෙම සටනට එක් කර ගනිමු.
  • විකිණීමේ තර්ජනයට ලක්ව ඇති සියලු ආයතනවල සේවකයන් හා එක්වෙමින් දැවැන්ත අරගලයක් තුළින් මෙම දූෂිත හා අත්තනෝමතික ක්‍රියාදාමයන් ස්ථීර ලෙසම පරාජය කිරීමට වෘත්තිය සමිති පෙරමුණ වටා රොද බඳිමු.
  • ටෙලිකොම් මාතාව ප්‍රමුඛ සියලු ජාතික සම්පත් ආරක්ෂා කර ගනිමින් මතු පරපුර වෙත ඒවා දායාද කරමු. නැතහොත්, අනාගත පරපුරේ ශාපයෙන් අපට ද ගැලවීමක් නොමැති වනු ඇත.

රටේ හෙට දවස වෙනුවෙන් අපේ අද දවස කැප කරමු !

ටෙලිකොම් වෘත්තීය සමිති පෙරමුණ (TTUF- ටෆ්)