සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ යෝජනා සළකා බැලීමට විශේෂ කමිටුවක්

සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ යෝජනා සළකා බැලීමට විශේෂ කමිටුවක්

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් (19) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

මෙම සාකච්ඡාවේ දී සිය වෘත්තීය ඉල්ලීම් පිළිබදව සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ නියෝජිතයින් අදහස් පළ කළ අතර,  සෞඛ්‍ය  අමාත්‍යවරයා කියා සිටියේ සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ ඉල්ලිම් වලට අදාලව යෝජනාවලියක් සකස් කර සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ලෙසත්, එය අධ්‍යයනයකින් පසු ඊට උපරිම සාධාරණත්වයක් ඉටු කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් කටයුතු කරන බවයි.

මෙහි ඉදිරි කටයුතු කරගෙනයාම සදහා සෞඛ්‍ය  අමාත්‍යවරයාගේ සහ සෞඛ්‍ය ලේකම්වරයාගේ මූලිකත්වයෙන් මෙන්ම සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ නියෝජිතයින්ගෙන් ද යුත් විශේෂ කමිටුවක් පත්කරන ලෙස සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ නියෝජිතයින්  යෝජනා කර සිටින ලදි. ඊට එකඟතාවය පළ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කඩිනමින් එම කමිටුව පිහිටුවා අද (20) පස්වරු 3.00 ට කමිටුව රැස් වී ඉදිරි තීන්දු තීරණ ගන්නා ලෙසයි.

වෘත්තීය සමිති නියෝජිතයින් මෙහිදී කියා සිටියේ වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම වෘත්තීය සමිති ගැටළුවව පිළිබදව මැදහත් පිළිවෙතක සිට කටයුතු කරන බවත්, එය ඉතා අගය කරන බවත්ය. සෑම විටම වෘත්තීය ඉල්ලීම් පිළිබදව ඇහුම්කම් දෙමින් ඊට සාධාරණත්වයක් ලබාදීමට අමාත්‍යවරයා නිරතුරු කටයුතු කරන බව ද ඔවුන් පෙන්වා දෙන ලදි.

සෑම වෘත්තීයකටම වෘත්තිය අයිතිවාසිකම් ලබාගැනීමේ හිමිකමක් තිබෙන බවත්, වෘත්තීය අයිතිවාසිකම් ලබාගැනීමේ දී අනෙකුත් වෘත්තීන්වල ගෞරවය අභිමානය රැකෙන පරිදි කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කරන ලදි. වත්මන් ආර්ථීක අර්බුදය හමුවේ රාජ්‍ය සේවකයින් ද අපහසුතාවයට පත්ව ඇති බව ද ඒ නිසාවෙන් මෙම ඉල්ලීම් වල යම් සාධාරණත්වයක් තිබෙන බව ද පවසන ලදි.

වෛද්‍යවරුන් සදහා වැඩි කළ රුපියල් 35000 ක ප්‍රවාහන හා නිර්බාධක දීමනාව හෙවත් ඩැට් දිමනාව තමන්ට ද ලබාදෙන්නැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් පසුගිය සති  කිහිපය තුළ අවස්ථා කිහිපයක දි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹුණි.

පසුගිය 15 වනදා එම වර්ජනය තාවකාලිකව අවසන් කෙරුණේ වෘත්තිය සමිති වල ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ලිඛිතව එකඟතාව පළ කිරීමත් සමග වන අතර අද දින  පැවැතියේ එම විශේෂ සාකච්ඡාවයි.

මෙම සාකච්ඡාව සදහා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, අතිරේක ලේකම්වරුන් වන ගීතාමනී කරුණාරත්න, වත්සලා  ප්‍රියදර්ශණී, ප්‍රධාන මුල්‍ය නිලධාරී ජී.එස් කරුණාරත්න යන මහත්මින් ඇතුලු සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.