හොර ඉමියුනෝග්ලොබියුලින් ගෙන්වූ ක්‍රමයටම ප්‍රෙඩ්නිසිලොන් ඖෂධයක් ගෙන්වීමට අදාල විමර්ෂණ ඖෂධ අධිකාරිය යට ගහලා

හොර ඉමියුනෝග්ලොබියුලින් ගෙන්වූ ක්‍රමයටම ප්‍රෙඩ්නිසිලොන් ඖෂධයක් ගෙන්වීමට අදාල විමර්ෂණ ඖෂධ අධිකාරිය යට ගහලා

2023 ජනවාරි මාසයේදී ප්‍රෙඩ්නිසිලෝන් නැමති ඖෂධය ගෙන්වීම සඳහා ඉදිරිපත් කර තිබූ ව්‍යාජ WOR සහතිකයක් සහ ඊට අදාල තවත් ව්‍යාජ සහතික දෙකක් පිළිබඳව ඖෂධ අධිකාරීයට වාර්ථා වී ඇතත්, ඒ පිළිබඳව විමර්ෂණ ඉතා සූක්ෂමව අයුරින් යට ගැසීම හේතුවෙන් ව්‍යාජ සහතික හරහා සිදුවූ ඖෂධ ජාවාරම, ඖෂධ අධිකාරියේ දැණුවත් මෙහෙයුමක් මත සිදු වන්නක් බව පෙනෙන්නට තිබේ.

2023 සැප්තැම්බරයේදී ඉමියුනෝග්ලොබියුලින් පිළිබඳ ව්‍යාජ WOR සහතිකය හෙලිදරව් වීමත් සමග, ප්‍රථම වතාවට එවන් තත්ත්වයක් ඇතිවූවා සේ හඟවමින් ඖෂධ අධිකාරිය වරදින් ගැලවීමට උත්සාහ දරමින් සිටියද, ඊට පෙර එම වසරේ ජනවාරි මාසය තුල හමුවූ ව්‍යාජ සහතික හරහා සිදු වූ ජාවාරම යට ගැසීම හරහා ඖෂධ නියාමන අධිකාරිය හොර සහතික පිළිබඳව විධිමත් මැදිහත් වීමක් නොකරමින් දීර්ග කාලයක් තිස්සේ එම තත්ත්වයට ඉඩ හැර තිබීම පිළිබඳ අද දින පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කලේය.

ව්‍යාජ සහතික හරහා ගෙන්වා ඇති ප්‍රෙඩ්නිසිලෝන් ඖෂධය පිළිබඳව පුර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙසත්, ඉමියුනෝග්ලොබියුලින් සඳහා ඉදිරිපත් කර තිබූ ව්‍යාජ සහතික පිළිබඳ අනාවරණය නොවූ රහස් එමගින් හෙලිදරව් කර ගන්නා ලෙසත්, බලමණ්ඩලය විසින් එහිදී ඉල්ලා සිටින ලදී.

(අදාල ව්‍යාජ සහතික)

ප්‍රෙඩ්නිසිලෝන් (මුඛ ද්‍රාවණය) ඖෂධය  අසාත්මිකතා, ඇදුම, ස්වයං ප්‍රතිශක්තිකරණ ආබාධ සහ ඇතැම් සමේ රෝග වැනි විවිධ තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා බොහෝ විට නියම කරනු ලැබේ. එය ශරීරයේ දැවිල්ල, ඉදිමීම සහ අසාත්මිකතා අඩු කිරීමට උපකාරී වන කෝටිකොස්ටෙරොයිඩයක් වේ.

කුප්‍රකට හියුමන් ඉමියුනෝග්ලොබියුලින් නඩුවට පාදක වී ඇත්තේ ව්‍යාජ ලියාපදිංචිය බැහැර කිරීමේ ලිපියක් (WOR) භාවිතා කර මෙරටට ඖෂධ ගෙන්වනවා යැයි පවසා සීදුවේ කර්මාන්ත ශාලාවක ඖෂධ නිෂ්පාදනය කිරීමයි.

නමුත්, මෙම ව්‍යාජ ලියවිල්ල කරලියට පැමිණෙන්නේ පහුගිය සැප්තැම්බර් මාසයේ වන අතර පහුගිය 2022 වර්ෂයේ පෙබරවාරි මාසයේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ වේදියෙකු එම ආයතනය තුළ දී ව්‍යාජ ලිපි කිහිපයක් භාවිතා කරමින් ඖෂධ ගෙන්වීම සදහා ඉදිරිපත් කරන ලද අයදුම්පතක් හමු වී ඒ සම්බන්ධව පැමිණිලි කල පසු එවකට සභාපති සහ එවකට ප්‍රධාන විධායක නිළධාරී ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය ඒ පැමිණිල්ල විභාග කිරීමට දැනට අනිවාර්‍ය නිවාඩු යවා තිබෙන පරිපාලන නිළධාරිවරියට අභ්‍යන්තර විමර්ෂනය පැවැත්වීමට පවරා ඇත.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් යවා ඒ සම්බන්ධව පසු විපරමක් කිරීමෙන් තොරව කටයුතු කිරීම හේතුවෙන් ව්‍යාජ සහතික පිළිබඳව හෙලි දරව් කර ගැනීමට තිබූ පූර්ව අවස්ථාවක් යට ගසා ඇත.

හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ගැටළුවේදීද, ඖෂධ අධිකාරිය   පැමිණිල්ලක් කර ඒ සම්බන්ධව අවශ්‍ය සාක්කි සාධක ලබා නොදී ඒ සම්බන්ධ පසු විපරමක් ද නොකර සිටීම කිසියම් උපක්‍රමයම‍යක්ද යන සැකය මතු වන බැවින් ඒ පිළිබද අපරාධ පරීක්ෂණයක් සිදු කරන ලෙස අප බලමණ්ඩලය අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින ලදී.

සෞඛ්‍ය වෘත්තීය සමිති කරුණු හෙකිදරව් කරන විටදී, හිටපු ඇමතිවරයා තමා මුලින්ම පැමිණිල්ල දැමූ බවත් එම පැමිණිල්ලට අදාළව තමන් සතුව සාක්කි ඇති බවත් පවසමින් ඉතාමත් හාස්‍යජනක ප්‍රකාශයක් කරමින් නඩුව අරඹා මාස 4 කට පමණ පසු සාක්ෂි යැයි පවසා යම් යම් ලියකියවිලි හා වීඩියෝපට ඉදිරිපත් කල නමුත්, ඒ ආකාරයෙන්ම 2022 පෙබරවාරි මාසයේදී කුඩා ළමුන් සදහා භාවිතා කරන සිරප් වර්ගයකට අදාල එම ව්‍යාජ ලියකියවිලි සම්බන්ධයෙන් ද අනුගමනය නොකලේ කුමක් නිසාද යන්න සූක්ෂමව විමර්ෂණය කල යුතුය. හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් නඩුව සම්බන්ධ පරීක්ෂණ වලදී තවත් ව්‍යාජ ලියකියවිලි හමුවන අතර ඒවායින් රටට ඖෂධ ගෙන්වීම වලක්වාලමින් නියෝග කරන ලද අතර එයින් රෝගී ජිවිත ආරක්ෂා විය. එබැවින් 2022 පෙබරවාරි මාසයේ දී හමුවූ මෙම ව්‍යාජ ලියකියවිලි සම්බන්ධයෙන් නිසි වගකීමෙන් තොරව කටයුතු කිරීම නිසා සාපරාදී අපරාධයකට මග විවර වී ඇති අතර, 2022 පෙබරවාරි මාසයේදී ව්‍යාජ ලියකියවිලි 3 ක් සකසා ඉදිරිපත් කරන ලද එම අයදුම්පත හමුවීමෙන් පසුව කඩිනම් විමර්ශනයක් නිසි පරිදි උනන්දුවී සිදුකලේ නම්, ව්‍යාජ සහතික භාවිත කර ව්‍යාජ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් මිල දී ගැනීමේ ජාවාරම වලක්වා ගැනීමට තිබුණි. එසේ වී නම් රෝගී ජීවිත ද ආරක්ෂා වනු ඇත.
ravi kumudesh 10

| රවී කුමුදේශ්

කැදවුම්කරු

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ජාතික ව්‍යාපාරය