ටෙක්ස්ලාන් සේවකයින් වරප්‍රසාද සමග යළි සේවයට

ටෙක්ස්ලාන් සේවකයින් වරප්‍රසාද සමග යළි සේවයට

මිනුවන්ගොඩ ටෙක්ස්ලාන් සෙන්ටර් කර්මාන්ත ශාලාවේ සේවය අත්හිටුවා සිටි වෘත්තීය සමිති නිලධාරීන් සහ කාරක සභිකයින් යලි සේවයට කැඳවා ඇති බව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ, සමලේකම් ඇන්ටන් මාකස් මහතාගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මිනුවන්ගොඩ පිහිටි ටෙක්ස්ලාන් සෙන්ටර් කර්මාන්ත ශාලාවේ සේවකයින් විසින් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයෙහි ශාඛාවක්  පිහිටුවා ගන්නා ලද අතර එම ශාඛාවේ නිලධාරීන්ගේ සහ කාරක සභිකයින්ගේ නම් සමාගම වෙත විද්‍යුත් තැපෑලෙන් දැනුම් දුන් 2023 සැප්තැම්බර් මස 07 වන දින සිටම ඔවුන්ගේ සේවය වැටුප් රහිතව අත්හිටුවා තිබුණි. ඔවුනට විරුද්ධව නගා තිබූ චෝදනා නම් අසත්‍ය ප්‍රචාර ගෙන යාම සහ ආයතනයේ දේපළවලට හානි කිරීමයි.

මේ සම්බන්ධයෙන් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය මැදිහත්ව ජාඇල කම්කරු කාර්යාලයේ දී පැවැත්වූ සාකච්ඡාවේ දී කරුණු පෙන්වා දීමෙන් පසුව ඔවුන්ගේ සේවය වැටුප් සහිතව අත්හිටුවා විනය පරීක්‍ෂණයන් පැවැත්වීමට තීරණය කරන ලදී. සමාගම මෙසේ වෘත්තීය සමිති නිලධාරීන් සහ කාරක සභිකයින්ගේ සේවය අත්හිටුවීම අසාධාරණ කම්කරු භාවිතාවක් වන බැවින් මේ සම්බන්ධයෙන් සංගමය විසින් විශේෂ විමර්ශන ඒකකයට පැමිණිළි කරන ලදී.

පකිස්ථාන සමාගමක් වන ඉන්ටර්ලූප් (Interloop) බහුජාතික සමාගමට අයත් මෙම සමාගම නයිකි (Nike) සන්නාමයෙන් මේස් නිෂ්පාදනය කරනු ලබන සමාගමක් වන බැවින් සංගමය විසින් ක්ලීන් ක්ලෝත් කැම්පේන් (Clean Cloth Campain) හරහා ඉන්ටර්ලූප් (Interloop) සහ නයිකි (Nike) සමාගම්වලට පැමිණිළි කිරීමෙන් පසුව මෙසේ සේවය අත්හිටවූ සේවකයින් 2024 පෙබරවාරි මස 19 වන දින සිට සේවයට කැඳවා ඇති අතර ඔවුනට අහිමි කර තිබූ  වාර්ෂික ප්‍රසාද දීමනාව ද අනෙකුත් වරප්‍රසාද ද ගෙවීමට කටයුතු කර ඇත. මෙය තම සංගමය මෙන්ම අනෙකුත් කර්මාන්තශාලාවල සේවකයින් ද ලැබූ ජයග්‍රහණයක් ලෙස නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය සළකනු ලබයි.