සුමිත්‍රා හසලක ඇඟලුම් සේවිකා වැඩ වර්ජනය දිනවමු ! ජාත්‍යන්තර කාන්තා දිනය හසලක දී සමරමු !!

සුමිත්‍රා හසලක ඇඟලුම් සේවිකා වැඩ වර්ජනය දිනවමු ! ජාත්‍යන්තර කාන්තා දිනය හසලක දී සමරමු !!

සුමිත්‍රා හසලක ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවක අප 2024 පෙබරවාරි මස 10 වන දින ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව ගෙන යාමට අධිෂ්ඨාන කරගෙන ඇත. සේවක අප 2021 වසරේ නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සාමාජිකත්වය ගැනීමෙන් පසුව අප වෘත්තීය සමිති ශාඛාව බිඳ දැමීමට කළමනාකාරිත්වය දිගින් දිගටම කටයුතු කරමින් සිටී.

කර්මාන්තශාලාවේ කළමනාකාරිත්වය විසින් සේවක, සේවිකාවන් හට අමානුෂික ලෙස බැණ වදිමින් නිෂ්පාදනය වැඩි කරගැනීමට කටයුතු කරන අතර සමහර කළමනාකරුවන් සේවිකාවන් හට ශාරීරිකව පහර දුන් අවස්ථා ද ඇත. සේවක කැමැත්තෙන් තොරව අපගේ නිවාඩු බලයෙන් ලබා ගැනීමට කටයුතු කළ අවස්ථා ද ඇති අතර සේවිකාවන්ගෙන් ලිංගික අල්ලස් ගත් සිද්ධීන් ද වාර්ථා වී ඇත.

සමාගමට හිතවත් අය දමා ගනිමින් පත් කර ගත් සේවක සභාව යොදා ගනිමින් සේවක අයිතිවාසිකම් කප්පාදු කිරීමට කටයුතු කරන කළමනාකාරිත්වය එය උපයෝගී කර ගනිමින් ද වෘත්තීය සමිතිය බිඳ දැමීමට කටයුතු කරයි. අප වෘත්තීය සමිතිය කළමනාකාරිත්වයේ මෙම කටයුතුවලට විරුද්ධ වීම නිසා වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ව විවිධ පළිගැනීම්වලට ලක් කර ඇත. ඩොලරය අවප්‍රමාණය වීම නිසාවෙන් අපනයන කර්මාන්තශාලා හිමියන් ලැබූ අධික අමතර ආදායම නිසා 2022 වසරේ අප්‍රේල් මස සිට අනෙකුත් ඇඟලුම් කර්මාන්තශාලා රු. 10,000 ක ආර්ථික සහන දීමනාවක් ගෙවන ලද නමුත් සුමිත්‍රා හසලක සමාගම අප හට ලබා දුන්නේ රු. 3,500.00 ක් පමණි. එය ද ජුනි මස සිට ඔක්තෝබර් මස දක්වා පමණක් වේ.

එමෙන්ම 2023 වසර සඳහා අනෙකුත් ඇඟලුම් කර්මාන්තශාලාවල සේවක වැටුප් වැඩි කළ ද හසලක සුමිත්‍රා සමාගම කිසිදු වැටුප් වැඩි කිරීමක් අප හට ලබා නොදුනි. ඒ සම්බන්ධයෙන් අප වෘත්තීය සමිතිය මැදිහත් වි සාකච්ඡා කළ අවස්ථාවේ දී කළමනාකරුවන් කියා සිටියේ 2024 වසර සඳහා ප්‍රමාණවත් වැටුප් වැඩි කිරීමක් කරන බැවින් එතෙක් ඉවසා දරා ගන්නා ලෙස ය.

එහෙත් 2024 වසර සඳහා අපගේ වැටුප් වැඩි කරන ලද්දේ රු. 1,500.00 කින් පමණි. සුමිත්‍රා සමාගම අසල්වැසියන් සහ මහජනතාව නොමග යැවීම සඳහා එහි සේවකයින් හට රු. 45,000.00 ක වැටුපක් ලැබෙන බවට පෝස්ටර් ගසා තිබුණි. එහෙත් එහි ඇත්ත තත්වය නම් අවුරුදු 17 ක් සේවය කළ යන්ත්‍ර ක්‍රියාකරවන්නියකගේ වත්මන් මූලික වැටුප රු. 25,500.00 කි. පසුගිය මාස කිහිපයේම අප හට අතිකාල සේවය නොලැබුණු අතර පැමිණීමේ දීමනාව ලබාගැනීමට නම් කිසිදු නිවාඩුවක් නොගෙන මුළු මාසයම සේවයට පැමිණිය යුතුව ඇත.

රටේ අනෙකුත් ඇඟලුම් කර්මාන්ත ශාලාවල රු.3,500.00 සිට රු.4,000.00 දක්වා ප්‍රමාණයන්ගෙන් වැටුප් වැඩි කර ඇතත් සුමිත්‍රා හසලක සමාගම වැඩි කළ රු. 1,500.00 ද 2023 ජනවාරි සිට මේ දක්වා අවවාද ලිපි ලැබුණු සේවකයින් හට නොලැබෙන බවට අළුත් කොන්දේසියක් ද පනවා තිබුණි.

මෙම තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට කළමනාකාරිත්වයට කලින් දන්වා 2024 පෙබරවාරි මස 09 වන දින අප සාමාජික රැස්වීමක් පැවැත්වීමට කටයුතු කළ නමුත් එයට සාමාජිකයින් සහභාගී වීම වැළැක්වීම සඳහා මැර බලය ද යොදවන ලදී. අප හට 2024 පෙබරවාරි මස 10 වන දින සිට වැඩවර්ජනයක යෙදීමට සිදු වූයේ කළමනාකාරිත්වයේ මෙම අසාධාරණයන්ට විරුද්ධව වේ. එබැවින් අප වැඩවර්ජනය කර සිටින්නේ රටේ පවතින අධික ජීවන වියදමට සරිලන වැටුපක් ලබා ගැනීමට සහ අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද මූලික අයිතියක් ලෙස පිළිගෙන ඇති වෘත්තීය සමිතියක් පිහිටුවා ගැනීමේ අයිතිය ලබා ගැනීමට වේ.

සුමිත්‍රා සමාගම දැන් අපගේ වෘත්තීය සමිතිය පිළිබඳව අතේ පැළෙන බොරු කීමට පටන් ගෙන ඇත. ඔවුන් කියන එක බොරුවක් නම් වෘත්තීය සමිතිය ගැණුම්කරුවන්ට පැමිණිළි කිරීම නිසා ඇනවුම් අහිමි වී ඇති බවත්, එනිසා කර්මාන්තශාලාව වසා දැමීමට සිදුවන බවත් ය. මෙහි ඇත්ත කථාව නම් ඔවුන් ඇනවුම් ලබාගෙන ඇත්තේ ගැණුම්කරුවන්ගේ කොන්දේසිවලට යටත්ව වේ. එම කොන්දේසි නම් සේවක අයිතිවාසිකම් සුරැකීම, සේවකයින්ට ගෞරවනීය ලෙස සැළකීම සහ සංවිධාන වීමේ අයිතියට ඇඟිලි නොගැසීම වැනි කොන්දේසි වේ. දැන් ගැණුම්කරුවන්ට සුමිත්‍රා හසලක සමාගමේ කළමනාකාරිත්වය කටයුතු කරන ආකාරය ඇස් පනාපිටම පෙනී ගොස් ඇති බැවින් ගැණුම්කරුවන් සමාගමට දන්වා ඇත්තේ එවැනි කටයුතුවලින් වළකින ලෙස ය. එහෙත් කළමනාකාරිත්වයේ මුරණ්ඩු භාවය නිසා දිගින් දිගටම එසේ කටයුතු කළහොත් ගැණුම්කරුවන් ඇනවුම් ඉවත් කරගන්නේ නම් එහි වගකීම වෘත්තීය සමිතිය නොව සමාගම දැරිය යුතුව ඇත.

වැඩ වර්ජනයේ යෙදී සිටින බහුතරයක් කම්කරු කාන්තාවන් වන නිසාත්, අප වැඩ වර්ජනය දිනවීම සඳහා සහාය දැක්වීමටත් 2024 ජාත්‍යන්තර කාන්තා දින සැමරුම හසලක දී පැවැත්වීමට අප සංගමය කටයුතු යොදා ඇත. මාර්තු මස 10 වන දින හසලක දී පැවැත්වෙන අපගේ ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට සහභාගී වී අපගේ සාධාරණ වැඩ වර්ජනය ජය ගැනීමට සහාය දක්වන ලෙස ප්‍රදේශවාසීන්ට මෙන්ම සියළුම සංවිධානවලට ආරාධනා කර සිටින්නෙමු.

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ වැඩ වර්ජනයේ යෙදී සිටින සුමිත්‍රා හසලක කර්මාන්තශාලාවේ සාමාජිකයින් විසින් බෙදා හරින ලද පත්‍රිකාවකි.