ස්ත්‍රී දුෂණය පිළිබඳ නීතිය වෙනස් කරන්නට එපා! සිවිල් සමාජ සාමාජිකයන් ඉල්ලයි

ස්ත්‍රී දුෂණය පිළිබඳ නීතිය වෙනස් කරන්නට එපා! සිවිල් සමාජ සාමාජිකයන් ඉල්ලයි

1990 දශකයේ සිට මේ දක්වා ස්ත්‍රීන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහි හිංසනය සම්බන්ධයෙන් පුළුල් ලෙස ක්‍රියා කළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවිය සමානතාවය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන්, විද්වතුන් සහ වෘත්තිකයන් ඇතුළු සිවිල් සමාජයට අයත් කණ්ඩායමක් ස්ත්‍රී දුෂණය පිළිබඳ නීතිය වෙනස් කිරීම උදෙසා ඉදිරිපත් වී තිබෙන සංශෝධන කෙටුම්පත පිළිබඳව ඔවුන්ගේ දැඩි විරෝධය ප්‍රකාශ කර ඇත. මෙම පනත් කෙටුම්පත වහා ඉල්ලා අස්කර ගන්නා ලෙස අපි ඔවුන් ඉල්ලා සිටියි.

ඔවුන් සඳහන් කරන පරිදි මෙම පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගත යුත්තේ පහත හේතුන් ප්‍රකාරව ය:

1. මෙරට අපරාධ නීතිය මගින් ලිංගික කටයුතු සඳහා එකගත්වය ලබා දීමට හැකියාවක් නොමැති යැයි සැලකෙන බාල වයස්කාර දැරියකගේ “කැමැත්ත” යන මූලධර්මය සම්පූර්ණයෙන් වරදවා වටහා ගැනීම සහ වැරදි ලෙස අර්ථකථනය කිරීම.

1995 දී සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහය මඟින් වයස අවුරුදු 18 ට අඩු බාල වයස්කරුවෙකුගේ ලිංගිකව එක්වීම සඳහා කැමැත්ත ලබා දීමේ හැකියාවේ වයස් සීමාව ලෙස වයස අවුරුදු 16 දක්වා අඩු කර ඇත. “ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය” යන වරද බොහෝ නීති පද්ධතීන් තුළ නිර්වචනය කර ඇත්තේ එම දැරිය අදාළ නිර්වචනය කළ වයස් සීමාවට වඩා පහළින් සිටින නිසා කැමැත්ත ප්‍රකාශ කිරීමේ හැකියාවක් නොමැති බාලවයස්කාර දැරියක් සමඟ ලිංගිකව හැසිරීම සාපරාධී වරදක් ලෙස ය. එනයින් මෙම පනත් කෙටුම්පතේ අත්තනෝමතික ලෙස අවුරුදු 22 ලෙස සඳහන් කර ඇති වයසට අඩු නමුත් වැඩිහිටි පිරිමියෙකු සමඟ ලිංගිකව එක්වීමට එම වයසට අඩු ගැහැණු ළමයෙකුට “අවසර” ලබා දිය හැකි යැයි යෝජනා කරන මෙම කෙටුම්පත වැරදි ය. තව ද මෙම කෙටුම්පත තවත් අතකින් වැරදි වන්නේ අවුරුදු 16 සිට අවුරුදු 14 දක්වා ලිංගිකව එක්වීමට කැමැත්ත පළ කිරීමේ හැකියාව ඇති වයස පහළ දැමීම සිදුව ඇති නිසා ය.

මෙම ප්‍රතිපත්තිය සකස් කළේ කෙසේදැයි අපි නොදනිමු. කෙසේ වුව ද එමගින් ගැහැණු ළමයින් ඇතුළු බාලවයස්කාර ළමයින්ට එරෙහිව සිදුවන ලිංගික අපයෝජනයන්හි ඉහළ සංඛ්‍යාත්මක අගය මෙන් ම එහිදී නීතිය ක්‍රියාත්මක කිරීමේ ඇති සාර්ථක අසාර්ථකත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ තත්කාලීන යථාර්ථය පැහැදිලිව ම නොසලකා හරියි. මෙය සත්‍ය වශයෙන් ම ළමා ලිංගික අපයෝජන සඳහා දණ්ඩමුක්තිය මෙන් ම සුජාතභාවය ලබා දීමේ සංස්කෘතියක් නිර්මාණය කර තිබේ. බාල වයස්කරුවෙකුට ලිංගිකව එකතුවීමට කැමැත්ත ලබා දීමේ වයස් සීමාව අවුරුදු 16 ලෙස 1995 දී පිළිගන්නා ලදී. ඊට හේතුව වෙන්නේ එය වයස අවුරුදු 18 ට අඩු බාල වයස්කරුවෙකු දෙමව්පියන්ගේ භාරකාරත්වයෙන් නිදහස් කිරීම, වෛද්‍ය ප්‍රතිකාර සඳහා කැමැත්ත ලබා දීමේ හැකියාව සහ වර්තමානය වනවිට නීත්‍යානුකූලව රැකියාවක නිරත වීම වැනි වෙනත් ක්‍රියා සඳහා හැකියාව ලබා ගන්නා වයසට අනුකූලවන බැවිනි. මෙම වයස නීතිමය සහ වෛද්‍ය ක්ෂේත්‍රයන්හිදී ද අදාළ යැයි සැලකේ. වයස අවුරුදු 16 සිය කැමැත්ත ඇතිව ලිංගිකව එක්වීමට සුදුසු වයසක් වශයෙන් බොහෝ අප්‍රිකානු හා ආසියානු රටවල් ඇතුළුව ගෝලීය වශයෙන් ද පිළිගෙන ඇත.

ගැහැණු ළමයින්ට අදාළ ව්‍යවස්ථාපිත දූෂණය (එනම් බාලවයස්කාර ගැහැණු ළමයින් සමඟ ලිංගිකව හැසිරීම) පිළිබඳ නීති බොහෝ අධිකරණ බල ප්‍රදේශවල හඳුන්වා දී ඇත්තේ ඔවුන් ලිංගික අපයෝජනයෙන් සහ සූරාකෑමෙන් ආරක්ෂා කිරීම සඳහා ය. එවැනි අපයෝජන ප්‍රජනක අයිතිවාසිකම් සහ සෞඛ්‍යය, මෙන් ම පොදුවේ  සංවර්ධනය ඇතුළුව ඔවුන්ගේ සෞඛ්‍යය කෙරෙහි  බරපතල බලපෑම් ඇති කරයි. මෙනිසා ම නව යොවුන් වියේ ගැබ් ගැනීම් හේතුවෙන් පාසල් හැර යාමේ අවදානම සහ HIV ඇතුළු ලිංගාශ්‍රිත රෝග වැළඳීමේ අවදානම ද පවතී.

ළමයින්ට එරෙහි ලිංගික අපචාර මෙරට තුළ බහුලව සිදුවන බව අපි දනිමු. පවතින නීතිය ක්‍රියාත්මක වීම ශක්තිමත් කොට ළමයින් ලිංගික අපයෝජනයෙන් හා සූරාකෑමෙන් ආරක්ෂා කර ගැනීම අභියෝගයක් වී ඇති මෙවන් මොහොතක දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනයක් ලෙස මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම ඇත්තෙන් ම පුදුම සහගත ය. ගැහැණු ළමයින්ගේ ලිංගිකව එක්වීම සඳහා කැමැත්ත ලබා දීමේ  වයස අවුරුදු 14 දක්වා පහත දැමීමෙන් සහ වයස අවුරුදු 22 ට අඩු පිරිමි අපරාධකරුවන්ට අත්හිටවූ සිරදඬුවම් ලබා දීමෙන් එවැනි අපයෝජනයන් සඳහා දණ්ඩමුක්තිය දිරිමත් කරන ආකාරය පැහැදිලිව ම යම්කිසි න්‍යාය පත්‍රවලට අනුකූලව ම යාවත්කාර්ය ප්‍රතිපත්ති සැකසීමේ භාවිතයේ වර්ධනයක් පෙන්නුම් කරයි. එහෙත් ඇත්තෙන් ම අපට අවශ්‍ය වන්නේ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට අදාළ ගැටළු ආමන්ත්‍රණයට සහ බලපෑම් කිරීමට මෙන් ම අදාළ ගැටළු විසදීමට හැකි සංගත, ස්ථාවර නීතියක් සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණයකි.

2. මෙම පනත් කෙටුම්පත පොදුජනයා අතර ප්‍රසිද්ධියට පත් යෝජිත ස්ත්‍රී පුරුෂ සමාජභාවය සවිබල ගැන්වීමේ නීතිය සහ කාන්තාවන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය තුළින් කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ජාතික ප්‍රතිපත්තිවලට පැහැදිලිව ම පටහැනි ය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර නීතිය යටතේ කාන්තා සහ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ කාන්තා අයිතිවාසිකම් සම්මුතියට (CEDAW) සහ ළමා අයිතිවාසිකම් සම්මුතියට (CRC) අනුනුකූල වීමට නෙතිකව බැඳී සිටී.

ශ්‍රී ලංකා රජයට CEDAW හි අධීක්ෂණ කමිටුවට මේ සම්බන්ධව වාර්තා කිරීමට සිදුවනු ඇති අතර මේ වන විටත් එහි මීළඟ වාර්තාව කෙටුම්පත් කරමින් පවතී. එනයින් අදාළ සම්මුතිය සහ CRC යටතේ ඇති ඊට කැපවීම් කඩ කරන මෙම අසාමාන්‍ය ප්‍රතිපත්ති සහ නීති ප්‍රතිසංස්කරණ වෙනස් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා රජය ඔවුනට පැහැදිලි කරන්නේ කෙසේ ද ?

3. දැනට කාන්තාවන් සහ ගැහැණු ළමයින් දූෂණය කිරීම ආවරණයවන 363 වගන්තිය ට පුරුෂ දූෂණය ද ඇතුළත් කොට සංශෝධනය කිරීමට පනත් කෙටුම්පත යෝජනා කරයි. 1995 දී දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරන විට, ස්ත්‍රී දූෂණය යනු ස්ත්‍රියකට හෝ ගැහැණු ළමයෙකුට එරෙහිව පිරිමියෙකු විසින් නිශ්චිත ආකාරයකින් සිදු කරන ලද ලිංගික අපරාධයක් ලෙස යම් සංශෝධන සහිතව රඳවා තබා ගන්නා ලදී. පුරුෂයෙකුව දූෂණය යන වරද, පිරිමින්ට සහ කාන්තාවන්ට, ගැහැණු ළමයින්ට සහ පිරිමි ළමයින්ට එරෙහි අනෙකුත් සියලු ම ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා ආවරණය වන “බරපතල ලිංගික අපයෝජන” යනුවෙන් ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මධ්‍යස්ථ (එනම් මෙහිදී කවුරුන් අතින් අදාළ දුෂණය සිදුවනවා ද යන්න අදාළ නොකරගෙන) වරදක් යන ගණයට ඇතුළත් කර ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ දැනට පවතින නීතිය තුළ ද පිරිමි දූෂණය පැහැදිලි වරදක් විය හැකි බව අපි හඳුනා ගනිමු. කෙසේ වෙතත්, යෝජිත සංශෝධනය කාන්තාවන්ට දැඩි ලෙස අදාළ වන දණ්ඩ නීති සංග්‍රහයේ වත්මන් 363 වගන්තියේ විධිවිධානවලට අහිතකර ලෙස බලපාන අපැහැදිලි බවක් ඇති කරයි. පිරිමින්ට වඩා වෙනස් ආකාරයකින් කාන්තාවන් අත්විඳින අපරාධයක් සම්බන්ධයෙන් නීතියේ නිශ්චිතභාවය පවත්වා ගැනීම සඳහා, අපි දැනට පවතින 363 වගන්තිය පැහැදිලිව ම රඳවා ගත යුතු ය.

ලිංගික අපරාධ පිළිබඳ නීතිය සහ ප්‍රතිපත්තිය වෙනස් කරන මෙම හදිසි යාවත්කාර්ය සහ ඛේදජනක පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.

තව ද අපි වෛද්‍ය සහ නීතිය ඇතුළු විවිධ උචිත වෘත්තිකයන්ගේ සහභාගීත්වයෙන් යුතු ප්‍රතිසංස්කරණයේ විනිවිදභාවය සහ උපදේශන ක්‍රියාවලියක් සහිත ප්‍රතිපත්ති සම්පාදනයක් සහ නීති ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටිමු. එසේ ම මෙම ක්ෂේත්‍ර තුළ ක්‍රියාකරන සිවිල් සමාජ ආයතන සහ සේවා සපයන්නන් ගේ අනුදැනුම ලබා ගැනීම මෙහිදී සිදු කළ යුතු ය. කාන්තා හිංසනය, ළමා අපචාර සහ ලිංගික හිංසනය සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක මෙම ක්ෂේත්‍රය තුළ සාක්ෂි පදනම් මත පදනම් සහ ස්ථාවර ප්‍රවේශයක් අපි ඉල්ලා සිටිමු.

(aythiya)