වෙළඳ කලාප සේවිකාවන් සඳහා වෛද්‍ය සායනයක්

වෙළඳ කලාප සේවිකාවන් සඳහා වෛද්‍ය සායනයක්

වෙළෙඳ කලාප සේවිකාවන් අතර මගහැරී යන අත්‍යවශ්‍ය කාර්යයක් වෙනුවෙන් දායකත්වය සපයමින් මාර්තු 17 වෙනි දා, කටුණායක පිහිටි" ඩා-බිඳු" කාර්යාල පරිශ්‍රයේ දී "එක් දින වෛද්‍ය සායනයක්" පැවැත්විණි.

"ඩා-බිඳු" සාමූහීකයේ පූර්ණ අනුග්‍රහය යටතේ,  සීදූව මහජන සෞඛ්‍ය නිළධාරී කාර්යාලය විසින් දියත් කළ මෙම වෛද්‍ය සායනය සඳහා වෛද්‍යවරු තිදෙනෙකු ඇතුලු හෙද සොහොයුරියන් කිහිප දෙනෙකු සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙකුගෙන් සමන්විත වූ වෛද්‍ය කණ්ඩායමක් සහභාගී වූ අතර, වෙළෙඳ කලාපයේ සේවය කරන කාන්තාවන් 100 ක් දෙනෙකු සඳහා වෛද්‍ය පරීක්‍ෂණ, වෛද්‍ය උපදෙස්, ඖෂධ සහ ප්‍රථිකාර සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදුන් අතර අවශ්‍ය වැඩිදුර ප්‍රථීකාර, උපදෙස් සඳහා ද ක්‍ෂණික යොමුකිරීම් සිදුකෙරුණි.

"අපට මේ සායනය විශාල උදව්වක් වගේම විශාල සහනයක්. මොකද, අපිට නිවාඩු ගන්න විධියක් නැහැ. නිවාඩු ගත්තොත් පඩි නැහැ. පඩි නැතිව ජීවත්වෙන්න බැහැ. අද පවතින බෙහෙත් මිල ඉහළයි. බොඩි චෙක් එකක් කරන්න ගියොත් සමහර වෙලාවට පඩිය වගේ දෙගුණයක් ගෙවන්න වෙනවා. ඒක අපිට දරාගන්න බැහැ" යැයි සඳහන් කළ තරුණ සේවිකාවන් කිහිප දෙනෙකුම, "ඩා - බිඳු සාමූහීකය" විසින් ලබාදුන් මෙම සායන පහසුකම ගැන ස්තුතිය පළ කළේය.

"අද පවතින දැඩි ආර්ථීක පීඩනය හමුවේ ලංකාවේ  සාමාන්‍ය මනුෂ්‍යයෙකුට තමන්ගේ අසනීපයකට වෛද්‍ය ප්‍රථිකාර ගැනීම ඉතාම දුෂ්කර කාර්යයක් බවට පත්වී තිබෙනවා. ඒ අතර සේවයට සරිලන සේ සාධාරණ වැටුපක් නොලබන වෙළෙඳ කලාප සේවක සේවිකාවන්ට තමන්ගේ සෞඛ්‍ය සම්පන්න බව පරීක්‍ෂාකර බලන්න තරම් වැයකරන්න ආර්ථීක ශක්තියක් නැහැ. ඒ නිසා කම්කරු සේවක සේවිකාවන් වෙනුවෙන් ක්‍රියාකරන සංවිධානයක් විධියට අපි මේ වසරේ දී ඔවුන්ගේ සුව - සෞඛ්‍යය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමුකරලා මෙම සම්පූර්ණ වෛද්‍ය සායනය සංවිධානය කළා" යැයි "ඩා-බිඳු සාමූහිකයේ" විධායක අධ්‍යක්‍ෂිකා චමිලා තුෂාරි ප්‍රකාශ කළේය.

වෛද්‍ය සායනය, කාන්තා සේවිකාවන්ට විවිධ ආකාරයේ පරීක්ෂණ සඳහා පහසුකම් සලසා තිබුණි. ශාරීරික පරීක්‍ෂණ සහ රුධිර පීඩනය මැනීම, දියවැඩියාව සඳහා රුධිර සීනි පරීක්‍ෂාව, ශරීර සෝදිසිය බැලීම, රුධිර කොලෙස්ටරෝල් පරීක්‍ෂාව, සායනික පියයුරු පරීක්‍ෂණ සහ ස්වයං පියයුරු පරීක්‍ෂණ, අනාගත පිළිකා අවධානම සඳහා ගර්භාෂ පරීක්‍ෂා කිරීම, පැප් පරීක්‍ෂණය, තයිරොයිඩ් ග්‍රන්ථි පරීක්‍ෂාව, පවුල් සැලසුම් උපදේශන සේවා සැපයීම, ප්‍රජනක චක්‍රයේ ගැටළු සඳහා උපදේශන සැපයීම සහ සෞඛ්‍ය අධ්‍යාපනය, උපදේශනය ඒ අතර විය. 

වෛද්‍ය පරීක්‍ෂණවලට සහභාගිවීමට අමතරව, පවුල් සැලසුම්, ගබ්සාව සහ ප්‍රජනක පදධතිය ආශ්‍රිත රෝග, පිළිකා තත්ත්වයන්, ඒ ආශ්‍රිත ගැටලු සහ එම තත්ත්වයන්ට පිළිපැදිය යුතු කරුණු කාරණා පිළිබඳව සහ විසඳූම් පිළිබඳව ද, කාන්තා සේවිකාවන් හට ඉතා හරවත් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද වෛද්‍ය රවී සිල්වා  විසින් පවත්වන ලදී.

සිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට නොපැමිණෙන කාන්තා සේවිකාවන් අද දින මෙම සායනයට පැමිණ අවශ්‍ය සියලු පරීක්‍ෂණ සිදුකර ගැනීම ඉතා වටිනා කාර්යයක් ලෙස ප්‍රකාශ කළ වෛද්‍ය රවී සිල්වා, මෙදින කාන්තාවන් 20 දෙනෙකු ම පැප් පරීක්‍ෂණය සඳහා ඉදිරිපත්වීම ඉතා ම අගයකොට සළකන බව කීවේය.

ඒ අතරින් කාන්තාවන් තුන් හතර දෙනෙකුම පියයුරුවල යම්කිසි ආසාදනයකින් පෙළෙන්නවුන් බවත්,  කොලොස්ටරෝල් සහිත රෝගීන් 16 දෙනෙකු ද අධි රුධීර පීඩනයෙන් පෙලුණු රෝගීන් කිහිප දෙනෙකු ද හඳූනාගත් අතර ඒ රෝගී තත්ත්වයන්ට අනුකූලව අවශ්‍ය හදිසි ප්‍රථිකර්ම සහ වැඩිදුර උපදෙස් සඳහා යොමු කළ බව ද චමිලා තුෂාරි පැවසීය.

කෙසේවෙතත්, ඖෂධ මෙන් ම , සෞඛ්‍ය පරීක්‍ෂණ සඳහා භාවිතාකරන පුංචිම උපකරණය සහ පුලුන් කැබැල්ලේ සිට මිල ගණන් ඉහළ ගොස් ඇති අතර, සෞඛ්‍ය සායනයට අවශ්‍ය කළ එකී සියලු ම උපකරණ ඇතුලු ඖෂධ මිල දී ගැනීමට සිදුවුයෙන් , මෙවර වෛද්‍ය සායනය වෙනුවෙන් අධික පිරිවැයක් දරන්නට සිදූවූ බව චමිලා තුෂාරි කීවේය.

"රටට විදේශ විනිමය සොයා දෙන සැළකිය යුතු සේවක පිරිසක් වෙනුවෙන් ඔවුන්ට අහිමීව තිබෙන අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් වෙනුවෙන් ඩාබිඳු අපගේ යුතුකම ඉටුකළා කියන සතුට අපට තිබෙනවා." යැයි චමිලා තුෂාරි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

"ඇත්තට ම මේ වෛද්‍ය සායනය අපි වගේ රැකියා කරන අයට ඉතාමත් ප්‍රයෝජනවත්. ඒ වගේ ම ලොකු පිහිටක්. මොකද අපි කරන රැකියාවට අනුව, අපිට ලොකු මුදල් නැහැ අපේ අසනීපවලට ප්‍රතිකාර ගන්න. ඒ වගේ ම රෝග පරීක්‍ෂා කරගන්න. ඉතිං ඩා-බිඳු සාමූහීකය හැමදාමත් වගේ අපිට කරන මේ සේවාව  ඉතාම  විශාලයි. මමත් හොඳ ශරීර පරික්‍ෂාවක් කරගන්න තමයි අද ආවේ" යැයි වසර දහයක් තුළ කටුණායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවය කරමින් සිටින වර්තමානයේ දි ස්ථීර නොවන රැකියාවක (manpower) නිරත කේ.ඩී. කලණි කීවේය.

"වෛද්‍යතුමා සිදුකළ දැනුවත් කිරීම ඉතාම ප්‍රයෝජනවත්. නොදැන හිටිය දේවල් ගොඩක් දැනගත්තා" යැයි ඇය සතුටින් ප්‍රකාශ කළේය.

සීදූව, මහජන සෞඛ්‍ය කාර්යාලයේ ප්‍රධානී වෛද්‍ය රවී සිල්වා ඇතුලු වෛද්‍ය සුපිපි ද සිල්වා , වෛද්‍ය චමින්ද සෙනරත් , මහජන සෞඛ්‍ය හෙද සොහොයුරිය, උපස්ථායිකාවන් සය දෙනෙක්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙක් ගෙන් සැදුම්ලත් සෞඛ්‍ය නිළධාරී කණ්ඩායම විසින් "100 දෙනෙකු සඳහා එක් දින වෛද්‍ය සායනය" සඳහා  සිය  දායකත්වය ලබා දී තිබුණි.

Melani Manel Perera 2

| මෙලනි මානෙල් පෙරේරා