පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා දුන් ලංගම සේවකයින්ගේ ප්‍රසාද දීමනා ලබාදෙන්නැයි ජනාධිපතිවරයාට ලියයි

පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා දුන් ලංගම සේවකයින්ගේ ප්‍රසාද දීමනා ලබාදෙන්නැයි ජනාධිපතිවරයාට ලියයි

ශ්‍රීලංගම සේවකයින් බලවත් නොසන්සුන්තාවයකට පත්නොකර පලාත් පාලන මැතිවරණයට තරඟ කරන ලද සියලුම ශ්‍රීලංගම සේවකයන් හට ප්‍රසාද දීමනා රුපියල් 20,000/- මුදල ලබාදීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් සමස්ත ලංකා ප්‍රවාහන සංගමය ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, පලාත් පාලන මැතිවරණයට තරඟ කරන ලද ශ්‍රීලංගම සේවකයින් හට ප්‍රසාද දීමනා රු.20,000/- මුදල ලබාදෙන ලෙස අප සංගමය දිගින් දිගටම අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා ඇත. අවසානයේ මානව සම්පත් කළමණාකාර තුමියටද අදාල ගැටලුව ඉදිරිපත් කර ඇත. එහි පිටපතක් ඔබතුමාගේ අවධානය සඳහා මේ සමඟ අමුණා එවන්නෙමු.

අප සංගමය ඇතුලු ශ්‍රීලංගම සියලුම වෘත්තීය සමිති විසින් ශ්‍රීලංගම වර්තමාන සභාපතිතුමාගෙන්ද කීපවතාවක්ම මෙම ඉල්ලීම ඉටුකරන ලෙස ඉල්ලා සිටි අතර, ශ්‍රීලංගම සභාපති අල්විස් මැතිතුමා ශ්‍රීලංගම සියලුම වෘතීය සමිතිවලට පළාත් පාලන මැතිවරණයට තරඟ කරන ලද සේවකයින්ට ප්‍රසාද දීමනා මුදල ලබාදෙන බවට පොරොන්දු වී ඇත.

ගරු ජනාධිපතිතුමනි, පලාත් පාලන මැතිවරණය නොපැවැත්වීමට එම සේවකයින් වගකිවයුතු නැත. ශ්‍රීලංගම වර්තමාන අධ්‍යක්‍ෂක මණ්ඩලයට මෙම මුදල ලබා නොදීමට කළ හැකි සෑම ක්‍රියාවක්ම සිදුකරන බව අප සංගමය තේරුම් ගෙන ඇත. ප්‍රසාද දීමනා මුදල ලබා නොදීම නිසා පලාත් පාලන මැතිවරණයට තරග කරන ලද සේවකයින් හට උද්ගත වී ඇති ආර්ථික අපහසුතාවය වර්තමාන ශ්‍රීලංගම අධ්‍යක්‍ෂක මණ්ඩලයට කිසිසේත්ම වැටහෙන්නේ නැති අතර ශ්‍රීලංගම අධ්‍යක්‍ෂක මණ්ඩලය මුදල් අමාත්‍යංශය විසින් එම මුදල ලබා නොදීමට දිගින් දිගටම බාධා සිදුකරන බවට ප්‍රකාශ සිදුකරන බවද අප සංගමයට තොරතුරු ලැබී ඇත. ඔබතුමා ගරු මුදල් අමාත්‍යවරයා නිසාම මෙම ක්‍රියාවලිය නිවැරදි කිරීම ඉතා අත්‍යාවශ්‍ය කරුණකි.

ජනාධිපතිතුමනි, මෙම සේවකයින් හට සිදුවී ඇති අසාධාරණ අමානුෂික ක්‍රියාව වලක්වාලීමට ඔබතුමා මැදිහත් වී රු.20,000/- ප්‍රසාද දීමනා මුදල ලබාදීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස අප සංගමය ඔබතුමාගෙන් ඉමහත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.