පුද්ගලික වෛද්‍යවිද්‍යාල අනුමැතිය වහාම ඉවත් කරගන්න - ACMOA

පුද්ගලික වෛද්‍යවිද්‍යාල අනුමැතිය වහාම ඉවත් කරගන්න - ACMOA

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම සඳහා ආණ්ඩුව විසින් ලබා දී ඇති අනුමැතිය අහෝසි කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මේ වන විට ආණ්ඩුව විසින් පුද්ගලික වෛද්‍ය විද්‍යාල ගණනාවක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දී ඇත. එම අනුමැතියට අනුව නැවතත් රට තුල පුද්ගලික වෛද්‍ය විද්‍යාල කීපයක් ආරම්භ කිරීමට සැලසුම් සකස්වෙමින් පවතී.

02. පසුගිය වකවානුව තුල රටතුල පුද්ගලික වෛද්‍ය විද්‍යාල ගණනාවක් ආරම්භ කිරීමට විවිධ ආණ්ඩු විසින් ලබාදුන් අවස්ථාවන්ට අනුව ක්‍රියාත්මක වූ උතුරු කොළඹ සයිටම් ඇතුලු පුද්ගලික වෛද්‍ය විද්‍යාල අසාර්ථක වූ අතර ඒවාට එරෙහිව රටතුල විශාල විරෝධයක් එල්ල විය. එම විරෝධතා හමුවේ එම ආයතන වසා දැමීමට සිදුවූ අතර ඒ වෙනුවෙන් අප රටේ ශිෂ්‍ය ව්‍යාපාරයටත් ජනතාවටත් විශාල අරගලයක් කිරීමට සිදුවිය.

03. දැනට පවත්වාගෙන යනු ලබන රජයේ වෛද්‍ය විද්‍යාලවල ප්‍රමාණවත් පහසුකම් නොමැති නිසා රාජ්‍ය වෛද්‍ය පීඨ බරපතල අර්බුදයකට මුහුණ දී ඇති අතර එම ගැටලුවලට ආණ්ඩුව ඍජුව වගකිව යුතුය.

04. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හරහා මුදලට උපාධි විකිණීමෙන් අප රටේ අධ්‍යාපන අයිතිය, අධ්‍යාපනයේ සාධාරණ ප්‍රවේශය අහෝසි වී යයි. දැනට ලෝකය පිළිගත් යුනිස්කෝ අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුවද මානව හිමිකම් අනුවද අධ්‍යාපනය හිමිවිය යුත්තේ කුසලතාවයට අනුව මිස මුදල් බලයට, දේශපාලන බලයට හෝ වෙනත් සාධක මත නොවේ. ඒ අනුව මෙමගින් අධ්‍යාපනයට ඇති අයිතිය අහෝසි වී යයි.

05. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳව ලෝකය පුරාම බරපතල ගැටලු මතු වී තිබියදී පවා අප රටේ බරපතල අර්බුදකාරී තත්වයකදී වුවද වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ප්‍රශස්ත මට්ටමකින් රැකගැනීමට සමත් වී ඇත. ශ්‍රී ලංකාවේ වෛද්‍ය උපාධිය සඳහා ලෝකයේ ඉහළ පිළිගැනීමක් ඇත. පුද්ගලික වෛද්‍ය විද්‍යාල මගින් ශ්‍රී ලංකාවේ ප්‍රමිතියෙන් යුත් වෛද්‍ය උපාධියක් ලබාදීමට කිසිසේත්ම නොහැකි බව ඔප්පු වී ඇත.

06. පුද්ගලික වෛද්‍ය විද්‍යාල අප රටතුල නැවත ආරම්භ වුවහොත් අප රටේ දැනටමත් විශාල හිඟයක් තිබෙන වෛද්‍ය විද්‍යාල ආචාර්යවරුන් විශාල ප්‍රමාණයක් පුද්ගලික වෛද්‍ය විද්‍යාල වෙත ඇදී යාම වළක්වා ගත නොහැකි වනු ඇත. එම නිසා එමගින් තවදුරටත් රාජ්‍ය වෛද්‍ය පීඨවල අධ්‍යාපනය බිඳවැටෙනු ඇත.

07. එම නිසා රටේ අධ්‍යාපනයත්, ජනතාවගේ සෞඛ්‍යයත් බරපතල අර්බුදයකට ඇද දමන පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම කිසිසේත්ම පිළිගත නොහැක.

රට බරපතල ආර්ථික සමාජීය සහ දේශපාලනික අර්බුදයකට මුහුණ දී ඇති අවස්ථාවක, රටේ අධ්‍යාපනය බරපතල ව්‍යසනකාරී තත්වයකට පත්වී ඇත. එසේම රජයේ වෛද්‍ය පීඨවලට පහසුකම් ලබා නොදීම හමුවේ බරපතල බිඳවැටීමක් තිබෙන මොහොතක එයට විසඳුම් ලබා නොදී මේ මොහොතේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති පුද්ගලික වෛද්‍ය පීඨ ආරම්භ කිරීම කිසිසේත්ම පිළිගත නොහැක. එම නිසා පුද්ගලික වෛද්‍ය පීඨ ආරම්භ කිරීම සඳහා ආණ්ඩුව ගෙන ඇති අදූරදර්ශී තීරණයට අප සංගමයේ දැඩි විරෝධය පලකරමු. එසේම මෙම තීරණය වහාම ආපසු හරවා ගැනීමට කටයුතු නොකරන්නේ නම් මෙම ක්‍රියාවලියට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අප පසුබට නොවන බවද දැනුම් දෙමු.