හසලක සුමිත්‍රා දිරිය කතුන් සියළු දරාගැනීම් මැද අඛණ්ඩව වැඩ වර්ජනයේ

හසලක සුමිත්‍රා දිරිය කතුන් සියළු දරාගැනීම් මැද අඛණ්ඩව වැඩ වර්ජනයේ
  • සිංහල අලුත් අවුරුද්දත් දඩමීමා කරගැනීමට සුමිත්‍රා පාලකයා මාන බලද්දී
  • සුමිත්‍රා දිරිය කතුන් සියළු දරාගැනීම් මැද අඛණ්ඩව වැඩ වර්ජනයේ

ජීවත්වීමට සරිලන වැටුපක් නොලබන සුමිත්‍රා සමාගම් සමූහය අතුරින් හසලක සුමිත්‍රා ඇඟළුම් කර්මාන්තශාලාවේ අති බහුතරයක් වූ කම්කරු කාන්තාවන් 2024 වසර සඳහා වූ වැටුප් වර්ධකය වෙනුවෙන් සාධාරණයක් කරන ලෙස ඉල්ලා 2024 පෙබරවාරි මස 10 වන දින ආරම්භ කළ වැඩ වර්ජනය අධිෂ්ඨානශීලීව ඉදිරියට ගෙනයමින් දින 50 ක ආසන්නයට ළඟාවී ඇත. මෙම වැඩ වර්ජනය බිඳ දැමීම සඳහා සමාගම මෙතෙක් ගත් සියළු උත්සාහයන් පරාජය කරමින් මුහුණ දෙන අභියෝග ජයගනිමින් ඉදිරියට ඇදෙන්නේ මෑත ඉතිහාසයේ ඇඟළුම් සේවක සේවිකාවන් කරන ලද දීර්ඝතම වැඩ වර්ජනයට සුමිත්‍රා හසලක දිරිය කතුන් උරුමකම් කියමිනි.

කම්කරු දෙපාර්තමේන්තුවේ මෙතෙක් පැවති සාකච්ඡා සියල්ලම කළමණාකාරීත්වය අනුගමනය කරන අත්තනෝමතික තීරණ නිසා එම ආරාවුල සමථයකට පත්කිරීමට කම්කරු කොමසාරිස්වරයා දැරූ ප්‍රයත්නයන්ද ගඟට කැපූ ඉනි මෙනි. මෙළෙස සාකච්ඡා අසාර්ථක කරමින් කටයුතු කරන කළමණාකාරීත්වය දැන් ළඟ එන අවුරුදු උත්සවය දඩමීමා කර ගනිමින් වැඩ වර්ජිත සේවිකාවන් මුහුණ දෙන ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් කාලකණ්නි සතුටක් ලබා ගැනීමට සූදානමින් සිටින බව දැන් දැන් පැහැදිළි වේ. අවුරුදු ප්‍රසාද දීමනාව නමැති කැරට් අලය පෙන්වා එම සේවක සේවිකාවන් කුමන මොහොතේ හෝ වැඩ වර්ජනය අතහැර වෘත්තීය සමිතිය නොමැතිව වැඩට පැමිණෙනු ඇතැයි කර්මාන්තශාලාව තුළ නොයෙකුත් ප්‍රචාර යවමින් සිටී. එහෙත් වෘත්තීය සමිතිය ද සමග තම ඉල්ලීම් ලබා ගැනීමේ පදනම මත රැකියාවේ සුරක්‍ෂිතතාවය ද තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් සේවයට වාර්ථා කිරීමට කටයුතු කරන්නටත් එතෙක් වැඩවර්ජනය දිගටම ගෙනයාම සඳහා අධිෂ්ධානගතව සිටින්නටත් හසලක දිරිය කාන්තාවන් අත්වැල් බැඳගෙන හමාරය. ආර්ථිකව සහ මානසිකව පහතට ඇද දැමීමට පාලකයා කටයුතු කරද්දී මෙවර සිංහල දෙමළ අවුරුද්ද සිය පවුල්වල අය මෙන්ම ගම්වාසීන් ද සමග එක්ව සැමරීමට ඔවුනට අහිසංක බලාපොරොත්තුවක්ද නැතුවා නොවේ. ඔවුන් ඒ සඳහා අධිෂ්ඨානශීලීව ක්‍රියාකරමින් ද පසුවේ.

එම සහෝදරියන්ගේ එකී අධිෂ්ඨානය ජයග්‍රහණය කිරීම සඳහා අප සංගමය මේ වන විටත් ආරම්භ කර ඇති සහයෝගීතා අරමුදලට දිනක වැටුප පරිත්‍යාග කරන ලෙස අප සංගම් සාමාජිකයින්ගේ සහෝදරාත්මක සහයෝගය ඉල්ලා ඒ පිළිබඳ අපේක්‍ෂාවෙන් පසුවන අතර එම අරමුදල සාර්ථක කර ගැනීම සඳහා හැකි සෑම ආකාරයකින්ම සහයෝගය දක්වන ලෙස අනෙකුත් වෘත්තීය සමිති, බහුජන සංවිධාන, කාන්තා සංවිධාන මෙන්ම කම්කරු අයිතිවාසිකම් කෙරෙහි විශ්වාසය තබන සියළු ජන කොටස්වලින් සහෝදරාත්මකව අප සංගමය ආයාචනා කර සිටින්නෙමු.

මාස 2 ක් ගතව ඇති හසලක සුමිත්‍රා

ඇඟළුම් සේවක වැඩ වර්ජනය දිනවමු.

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ

සේවක සහයෝගීතා උද්ඝෝෂණය

2024 අප්‍රේල් මස 03 වන බදාදා සවස 5.00 ට

කටුනායක නිදහස් වෙළඳ කලාප ප්‍රධාන දොරටුව අසලදී

ඔබ සැමට ආරාධනා......

(නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් බෙදා හරින ලද පත්‍රිකාවකි)