පුත්තලමේ ලංකා ගුරු සංගමයේ නායකයාගේ ගෙට ගිනි තියලා

පුත්තලමේ ලංකා ගුරු සංගමයේ නායකයාගේ ගෙට ගිනි තියලා

ලංකා ගුරු සංගමයේ පුත්තලම  දිස්ත්‍රික් සභාපති අජිත්  විජේසිංහ මහතාගේ පුත්තලම, මදුරන්කුලිය මුක්කු තුඩුවාවේ පිහිටි නිවෙසට  කඩාවැදුණු කඩු, යකඩ පොලු සහ මුගුරු රැගත් මැර කණ්ඩායමක් ඒ මහතා ගේ  නිවෙසේ වටිනා බඩු මුට්ටුවලට පහර දී පොඩි පට්ටම් කර  නිවෙසට ද ගිනි තබා හානි සිදුකර පලා ගොස් ඇතැයි මදුරන්කුලිය පොලිසිය පවසයි.

ප්‍රදේශයේ එක්තරා කර්මාන්ත ශාලාවකින් බැහැර කරන අපවිත්‍ර ජලය හේතුවෙන්  සිදුවන බව කියන දැඩි පාරිසරික හා සෞඛ්‍යමය ගැටලු සම්බන්ධයෙන්  ප්‍රදේශවාසීන් පිරිසක් සමග එක්ව ඊට එරෙහිව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට අජිත් විජේසිංහ මහතා නායකත්වය ගෙන ක්‍රියා කර ඇති බවට මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වීයැයි ද පොලිසිය සදහන් කරයි.

හලාවත නගර සභාවේ ගිනි නිවන රථ පැමිණ ගින්න මැඩ පැවැත්වූ අතර ඒ සඳහා  ප්‍රදේශවාසීන්ගේ ද උපරිම සහාය ලැබී ඇත.

විජේසිංහ මහතාට අයත් මෝටර් රථයට සහ යතුරුපැදියට ද මැර කණ්ඩායම දැඩි ලෙස හානි කර තිබෙන බව පොලිසිය කියයි.

(ලංකාදීප)