ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන්න - කරු ජයසූරිය

ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන්න - කරු ජයසූරිය

ව්‍යවස්ථාව මඟින් ලබා දී ඇති බලතල ප්‍රකාරව නොපමාව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ වගකීමක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා මාධ්‍ය නවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා දී ඇති බලතල ප්‍රකාරව 2024 වසරේදී පැවැත්විය යුතුව ඇති ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීම සඳහා ක්‍රියා කිරීමට අවස්ථාව ලැබෙන මොහොතින් පසුව නොපමාව ම ජනාධිපතිවරණය සඳහා නිල නිවේදනය නිකුත් කල යුතුව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කරනු කැමැත්තෙමු.

ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා රාජ්‍ය පාලනයේ කේන්ද්‍රීය බලය උසුලන රටේ ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා නිසි කාලය එළැඹෙමින් පවතින කාල වකවානුවක ඒ් පිළිබඳව විවිධ වූ පරස්පර මත සහ සදාචාර සම්පන්න නොවන යෝජනා සමාජගත වෙමින් පවතින තත්ත්වයන් සැළකිල්ලට ගෙන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මැතිවරණ කොමිෂන් සභාවෙන් මෙම ඉල්ලීම සිදු කරන බව ද සඳහන් කල යුතුව තිබේ.

එවැනි පරස්පර මත හා අනවශ්‍ය වාද විවාද හේතුවෙන් රටේ ආර්ථික දේහය හසුරුවන වාණිජ හා මූල්‍ය  ආයතන අතර මෙන් ම අන්තර්ජාතික කේන්ද්‍රයන් අතර ද ඇතිවිය හැකි විවිධ ආකල්ප හේතුවෙන් රටේ යහපැවැත්මට හානිකර තත්ත්වයන් නිර්මාණය විය හැකිය. විශේෂයෙන් ම ජනාධිපතිවරණය පාදක කරගනිමින් පාර්ලිමේන්තුව තුළ පවා අනවශ්‍ය වාද විවාද පැවතීම තුළ මෙන් ම රටේ උත්තරීතර අධිකරණය හමුවේ විවිධ පෙත්සම් යොමු කරමින් ඇතැම් පුද්ගලයන් ගන්නා ක්‍රියාමාර්ග හේතුවෙන් සමාජය තුළ අසහනකාරි තත්ත්වයන් නිර්මාණය වන බවක් දැකගත හැකිය. එවන් පරිසරයක පොදුවේ සමාජයට ඇති කල හැකි බලපෑම සැළකිල්ලට ගැනීමේ දී ව්‍යවස්ථාපිත බලය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත පවරා ඇති වගකීම හා කාර්යභාර්යයන් නොපමාව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වී ඇතැයි අපි බලවත් ලෙස විශ්වාස කරන්නෙමු.