සෞඛ්‍ය අර්බුදයට කරන දේ කියන්න - ජනාධිපති අපේක්ෂකයින්ගෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඉල්ලීමක් කරයි

සෞඛ්‍ය අර්බුදයට කරන දේ කියන්න - ජනාධිපති අපේක්ෂකයින්ගෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඉල්ලීමක් කරයි

ඉදිරි ජනාධිපතිවරණයේදි බලයට පත් වීමට අපේක්ෂාවෙන් සිටින සියලු පාර්ශවයන්ට ද මෙම ගැටලුව කිසිසේත් මඟ හැර යා නොහැකි අතර ඉදිරියේදි ප්‍රකාශයට පත් වීමට නියමිත ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන්හි වෛද්‍ය අධ්‍යාපනයේ  අර්බුදය සහ එහි අනාගතය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශයට පත් විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, අක්‍රමවත් වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම හමුවේ ශ්‍රී ලාංකේය සෞඛ්‍ය සේවාව මුහුණ දී ඇති අවදානම පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සහ ගැටළුව විසඳිමෙහිලා බලධාරීන්ගේ ස්ථාවරය රට හමුවේ ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය.

ශ්‍රී ලාංකේය සෞඛ්‍ය සේවාව ඉහළ ප්‍රමිතියකින් හා ගුණාත්මකභාවයකින් යුතුව පවත්වාගෙන යාමෙහිලා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනුයේ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි.

මෙරට සෞඛ්‍ය සේවාවේ වර්ධනයට සාපේක්ෂව අවශ්‍ය වෛද්‍යවරුන් ප්‍රමාණය අඛණ්ඩව බිහි කිරීම වෙනුවෙන්, ඉතිහාසය පුරා ශ්‍රී ලාංකීය වෛද්‍ය අධ්‍යාපනය පුළුල් වී ඇත්තේ වෛද්‍ය සිසුන්ට ලබා දෙන ප්‍රශස්ත සායනික සහ අධ්‍යාපනික පුහුණුවේ උසස් ප්‍රමිතිය සහ ගුණාත්මක බව ඉහළ මට්ටමක පවත්වා ගනිමිනි.

මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ඉදිරි ගමන, පුළුල් කිරීම් සහ ව්‍යුහාත්මක වෙනස්කම් සම්බන්ධයෙන් කලින් කලට විවිධ යෝජනා, මතිමතාන්තර සහ ප්‍රවණතා සමාජ ගත වන ආකාරය අපි දැක ඇත්තෙමු.

එම යම් ප්‍රවණතාවයන් සහ තීරණ වෛද්‍ය අධ්‍යාපනයේ උන්නතියට දායක වී ඇති අතර, අහිතකර ප්‍රතිඵල අත්කරදුන් ව්‍යාපෘති  සහ වැඩසටහන් ද දක්නට ලැබුණි.

වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමේදී ප්‍රධාන සීමාකාරී සාධක තුනක් හඳුනාගත හැක.

1.         ප්‍රශස්ත සායනික පුහුණුව ලබාදීම සඳහා අවශ්‍ය පහසුකම්

2.         ප්‍රමිති නිර්ණායක සපුරා ගත් ආචාර්ය මණ්ඩලයක් පැවතීම

3.         ප්‍රමිතිගත සීමාවාසික පුහුණුවක් සඳහා ඇති අවස්ථාවන් ප්‍රමාණය

මෑතකාලීනව මෙරට වෛද්‍ය අධ්‍යාපනය පුළුල් වී ඇත්තේ ඉහත සීමාකාරී සාධක පිළිබඳ පැහැදිලි දැක්මක් හෝ අධ්‍යනයකින් තොරව බව පැහැදිලිව පෙනී යන කරුණකි.

ගෙවුණු දශකය තුල රාජ්‍ය වෛද්‍ය පීඨ වෙත බඳවාගෙන ඇති වෛද්‍ය සිසුන් සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ ගොස් ඇති අතර, නව රාජ්‍ය වෛද්‍ය පීඨ ගණනාවක් ද බිහිවී ඇත.

මෑත කාලීනව වෛද්‍ය පීඨ වෙත බඳවා ගන්නා ලද සිසුන් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන්, ප්‍රශස්ත සායනික පුහුණුවක් ලබාදීම මෙන්ම සීමාවාසික පුහුණුව සඳහා අවස්ථාවන් සැපයීම ද බරපතල අභියෝගයක් බවට පත් වී ඇත. බුද්ධිගලනය හමුවේ රාජ්‍ය වෛද්‍ය පීඨ  පද්ධතියට ද ආචාර්යවරුන් වේගයෙන් අහිමි වෙමින් පවතින අතර, මෑතකදී පිහිටුවන ලද වෛද්‍ය පීඨ වලට ආචාර්ය මණ්ඩලය බඳවා ගැනීම ද දැඩි අර්බුදයක් බවට පත්ව ඇත.

මේ වන විට නැවතත් වෛද්‍ය උපාධිය මුදලට විකිණීම සම්බන්ධයෙන් බරපතල කතිකාවක් ගොඩනැගී ඇති හෙයින්, රටේ ආර්ථික සමාජ තත්ත්වයන්ට සාපේක්ෂව වෛද්‍ය අධ්‍යාපනයේ හෙට දවස කෙසේ විය යුතු ද යන්න තීරණය කිරීම අනිවාර්ය කරුණකි.

වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමේදී ජනගහන වර්ධනය, සෞඛ්‍ය අංශයේ ධාරිතාව, ආර්ථිකයට දරා ගැනීමේ හැකියාව, ආචාර්ය මණ්ඩලය, සායනික සහ සීමාවාසික පුහුණු අවස්ථා වැනි සාධක ගණනාවක් සලකා බැලිය යුතු නමුත්, මෙතෙක් ශ්‍රී ලංකාව තුළ එවැනි කිසිදු විද්‍යාත්මක ශක්‍යතා අධ්‍යයනයක් මත පදනම්ව තාක්ෂණික හෝ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමක් සිදුවී නොමැත.

විද්‍යාත්මක අධ්‍යනයකින් තොරව අක්‍රමවත් ලෙස වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම හරහා අවසානයේදී  වෛද්‍ය ක්ශේත්‍රය, වෛද්‍ය පීඨ පමණක් නොව සෞඛ්‍ය පද්ධතියට ද ගැටලු ඇතිවීම හේතුවෙන් අවසානයේදී රෝගී ජීවිත ද අවදානමට ලක්වනු ඇත.

රාජ්‍ය වෛද්‍ය අධ්‍යාපනය සහ වෛද්‍ය පීඨ සුරක්ෂා කිරීම රාජ්‍යයේ ප්‍රමුඛතම වගකීමක් වන අතර, දේශපාලන නායකයින් සහ බලධාරීන් එම වගකීම පැහැර හරිමින් කටයුතු කරන්නේ නම්, එය නුදුරු  අනාගතයේදී බරපතළ ඛේදවාචකයකට මංපෙත් විවර කිරීමක් වනු නොඅනුමානය.

වගකිවයුත්තන් තම භූමිකාව ඉටු නොකරන්නේ නම්, එය ඉටුකිරීමට ඔවුන්ට බල කිරීමට ජනතාව ද පෙළ ගැසිය යුතු අතර ඒ වෙනුවෙන් ගැටළුව පිළිබඳ ජනතාව දැනුවත් වී සිටීම අනිවාර්ය කරුණකි.

ඉදිරි ජනාධිපතිවරණයේදි බලයට පත් වීමට අපේක්ෂාවෙන් සිටින සියලු පාර්ශවයන්ට ද මෙම ගැටලුව කිසිසේත් මඟ හැර යා නොහැකි අතර ඉදිරියේදි ප්‍රකාශයට පත් වීමට නියමිත ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන්හි වෛද්‍ය අධ්‍යාපනයේ  අර්බුදය සහ එහි අනාගතය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශයට පත් විය යුතු බව අපි විශ්වාස කරමු.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ අනාගත පුළුල් කිරීම් නිසි ශක්‍යතා අධ්‍යයනයක් සහ විද්‍යාත්මක ප්‍රවේශයක් සහිතව ස්ථාපනය කරන ලද ජාතික ප්‍රතිපත්තියකට අනුකූලව  සිදුකිරීම අනිවාර්ය වන අතර, එසේ කිරීමට අපොහොසත් වීමෙන් ශ්‍රී ලාංකීය වෛද්‍ය අධ්‍යාපනයට සහ සෞඛ්‍ය සේවාවට ඇතිවන අහිතකර විපාක වළක්වාලීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සියලු මැදිහත්වීම් සිදු කරනු ඇත.