රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය

රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ වැටුප්, වේතන හා අනෙකුත් පාරිශ්‍රමිකයන් සමාලෝචනය කර, රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා, 2025 අයවැය මඟින් ක්‍රියාත්මක කිරීම සඳහා වන නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස විශේෂඥ කමිටුවක් පත් කිරීම සඳහා 2024-05-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් රාජ්‍ය නිලධාරින් සහ රාජ්‍ය අංශයේ ප්‍රධාන වෘත්තීය සංගම් සමඟ සාකච්ඡා කරනු ලැබ ඇති අතර, අදාළ තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අතුරු වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. එකී වාර්තාවේ නිර්දේශිත පහත සඳහන් යෝජනා සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමටත්, අදාළ යෝජනා 2025 වර්ෂයේ අයවැයට ඇතුළත් කර ක්‍රියාත්මක කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

  • සමස්ත රාජ්‍ය සේවයේ සියලුම තනතුරු ප්‍රධාන මට්ටම් 04ක් යටතේ වර්ගීකරණය කර, එක් එක් කාණ්ඩය ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශය (SLQF) හා ජාතික වෘත්තීය නිපුණතාව (NVQ) පදනම් කර ගනිමින් හා අදාළ රැකියා කාර්යභාරය, වගකීම් හා විශේෂ රැකියා සඳහා නිපුණතාවකින් යුත් සේවකයින් ආකර්ෂණය කර ගැනීම හා රැකියාවන්හි රඳවා ගැනීම සැලකිල්ලට ගෙන, බඳවාගැනීමේ සුදුසුකම් අනුකාණ්ඩවලට වර්ගීකරණය කිරීම.
  • ප්‍රාථමික සේවා කාණ්ඩ සඳහා ද බඳවාගැනීමේ මූලික සුදුසුකම් ලෙස ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශය, ජාතික වෘත්තීය නිපුණතාව පදනම්ව සේවා අවශ්‍යතාව පරිදි සුදුසු තෝරා ගැනීමේ ක්‍රමවේද අනුගමනය කිරීම.
  • අනෙකුත් සියලුම සේවා කාණ්ඩ සඳහා විධිමත් තරග විභාග හා සම්මුඛ පරීක්ෂණ ක්‍රම මඟින් පමණක් බඳවාගැනීම.
  • ඒ අනුව යෝග්‍ය පරිදි දැනට පවතින අනුමත බඳවාගැනීමේ පටිපාටි කඩිනමින් සංශෝධනය කිරීම.
  • 2025 පාදක වසර ලෙස සලකා ජීවන වියදම් දීමනා සඳහා සිදු කර ඇති විවිධ ගැලපීම් හා මේ වන විටත් එක් කොට ඇති දීමනා සියල්ල ඒකාබද්ධ කොට, සියලුම රජයේ සේවකයින් සඳහා (සෑම වසර 03කටම වරක් සංශෝධනය කිරීමට යටත්ව) ජීවන වියදම් දීමනාව ලෙස මාසිකව රුපියල් 25,000/-ක් ගෙවීම.
  • රාජ්‍ය සේවයේ අවම ආරම්භක මාසික වැටුප 24%ක අවම ප්‍රතිශතයකින් වැඩි කොට, ජීවන වියදම් දීමනාව සමඟ දළ වැටුප රුපියල් 55,000/-ක් ලෙස ගෙන, අනෙකුත් සියලුම තනතුරු සඳහා මූලික වැටුප ඒ අනුව ගැලපීම.
  • ව්‍යාපාරික රාජ්‍ය සමාගම් හා බැංකු හැර අන් සියලුම රාජ්‍ය ආයතන සඳහා මෙම නව වැටුප් හා දීමනා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම.
  • 2030 වන විට රාජ්‍ය සේවයේ සමස්ත සේවක මණ්ඩලය ලක්ෂ දහයක් (1,000,000) හෝ ඊට අඩු මට්ටමක් දක්වා සීමා කර ගැනීමට ක්‍රියාමාර්ග ගැනීම.
  • ඒ අනුව 2025 සිට වසර 03ක් ඇතුළත සමස්ත රාජ්‍ය සේවයේ හැකි සෑම ක්ෂේත්‍රයක් තුළම ඩිජිටල්කරණය (Digitalization) හා ස්වයංක්‍රීයකරණය (Automation) තුළින් ඉලෙක්ට්‍රොනික පද්ධති මඟින් රාජ්‍ය පාලනය සඳහා ක්‍රමවේදයක් (E-Governance) හඳුන්වා දීම සහ ඒ සඳහා රාජ්‍ය ආයෝජනයේ ප්‍රමුඛතාව ලබා දීම.
  • රාජ්‍ය අංශයේ සියලුම සේවකයින් හා විශ්‍රාමිකයින් ද ඇතුළත්ව මාසිකව අවම රුපියල් 1,000/-ක දායකත්වයක් සහිත වඩාත් ආකර්ෂණීය ප්‍රතිලාභ හිමි වන පරිදි වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් 2025 ජනවාරි මස සිට ක්‍රියාත්මක කිරීම.
  • හැකි සෑම අවස්ථාවකම බාහිර සේවා (Outsourcing) වැනි ක්‍රමවේද මඟින් රජයේ වැය බර අවම වන ලෙස කාර්යක්ෂමතාව උපරිම වන පරිදි නියමිත ක්‍රමවේද අනුගමනය කරමින් සේවා ලබා ගැනීම.
  • හඳුනාගත් රාජ්‍ය දෙපාර්තමේන්තු/සංස්ථා/ව්‍යවස්ථාපිත ආයතන කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සීමිත පොදු සමාගම් (Public Liability Company) බවට පත් කිරීමේ ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
  • නිසි වැඩ අධ්‍යයනයක් සිදු කොට, සමස්ත රාජ්‍ය අංශයේ කාර්යමණ්ඩලවල හා සේවා පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කිරීම පිණිස 2025 වසර තුළ කටයුතු කිරීම.
  • ඒ අනුව සියලුම රාජ්‍ය සේවකයින් සඳහා කාර්යසාධක දර්ශක සකස් කොට, එහි ප්‍රගතිය පදනම් කර ගනිමින් වැටුප් වර්ධක ලබා දීම.
  • 2020 වසරට පෙර විශ්‍රාමලත් රාජ්‍ය නිලධාරින්හට හිමිකම් ලැබූ වැටුප් වර්ධක ලබා දී ඔවුන්ගේ විශ්‍රාම වැටුප සංශෝධනය කර අදාළ විෂමතා නිරවුල් කිරීම.
  • විශ්‍රාමිකයින් සඳහා ජීවන වියදම් දීමනාව, සක්‍රීය සේවයේ නියුතු රාජ්‍ය නිලධාරින් සඳහා ලබා දෙන ජීවන වියදම් දීමනාවෙන් 50%කට සමාන වන පරිදි 2025 ජනවාරි මස සිට ලබා දීම.
  • දැනට පවතින බදු ප්‍රතිපත්තිය තුළම මෙම වියදම් කළමනාකරණය කිරීමට යටත්ව, මෙම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීම සහ යෝජිත වැටුප් ක්‍රමය 2025-01-01 දින සිට රාජ්‍ය මූල්‍ය අවකාශ ද සැලකිල්ලට ගෙන අදියරගතව ක්‍රියාත්මක කිරීම.