“ඡන්ද සල්ලි මීටරේ”: මැතිවරණ වියදම් නිරීක්ෂණ මෙවලමක් එළි දක්වයි

“ඡන්ද සල්ලි මීටරේ”: මැතිවරණ වියදම් නිරීක්ෂණ මෙවලමක් එළි දක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ප්‍රමුඛ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හයක්, එනම්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL), නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය (පැෆ්රල්), නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වූ ව්‍යාපාරය (CAFFE), මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV), හැෂ්ටැග් පරපුර (Hashtag Generation), සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය (IRES) 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක වියදම් නිරීක්ෂණය කිරීම සඳහා මාර්ගගත මෙවලමක් නිර්මාණය කර ඇත.

2023 මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා උද්දේශනය කිරීම, සිය ඡන්දය පිළිබඳව දැනුම්වත් තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු වලින් පුරවැසියන් සවිබල ගැන්වීම, ජනාධිපති අපේක්ෂකයින් අතර සම අවස්ථාවන් සහතික කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන සාධාරණ සහ සියලු දෙනා ඇතුළත් මැතිවරණ පරිසරයක් පෝෂණය කිරීම “ඡන්ද සල්ලි මීටරේ” නමින් වන මෙම මෙවලමෙහි අරමුණයි.

මෙම ඒකාබද්ධ මෙවලම අද (අගෝස්තු 16) කොළඹ BMICH පරිශ්‍රයේදී ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල්, දේශපාලන පක්ෂ නියෝජිතයින්, විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් සහ මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් එළි දක්වන ලදී.

නදීෂානි පෙරේරා, විධායක අධ්‍යක්ෂිකා, TISL; මංජුල ගජනායක, විධායක අධ්‍යක්ෂ, IRES; සමන් ශ්‍රී රත්නායක, කොමසාරිස් ජනරාල්, ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව; රෝහණ හෙට්ටිආරච්චි, විධායක අධ්‍යක්ෂ, පැෆ්රල්; ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, විධායක අධ්‍යක්ෂ, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA); මනාස් මකීන්, විධායක අධ්‍යක්ෂ, CAFFE; දර්ශත ගමගේ, විශේෂඥ, හැෂ්ටැග් පරපුර, යන අය උත්සව සභාව අමතන ලදී.

මෙම මෙවලම ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලීන්හි විනිවිදභාවය සහ වගවීම ප්‍රවර්ධනය කිරීමේ දිගු කාලීන අරමුණු සඳහා සහය වීමට නිර්මාණය කර ඇත. මැතිවරණ ව්‍යාපාරයන්හිදී මුදල් වල භූමිකාව සහ ඡන්දදායකයින්ගේ තීරණ කෙරෙහි එය බලපාන ආකාරය පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීම මගින්, මැතිවරණ ප්‍රචාරක වියදම් නිරීක්‍ෂණ කටයුතුවලට ඔවුන්ගේ දායකත්වය ‘chandasallimeetare.lk’ වෙබ් අඩවිය හරහා දිරිමත් කරයි.

මෙම වෙබ් අඩවිය එක් එක් ජනාධිපති අපේක්ෂකයාගේ විස්තරය සමඟ තෝරාගත් වියදම් කාණ්ඩවලට වෙන් වෙන් වශයෙන් (ප්‍රධාන ධාරාවේ මාධ්‍ය, සමාජ මාධ්‍ය, දැන්වීම් පුවරු සහ කටවුට්, මහජන වැඩසටහන්, මාධ්‍ය සාකච්ඡා, සමාරම්භක උත්සව සහ ප්‍රචාරක කාර්යාල ආදී) ඔවුන්ගේ මුළු මැතිවරණ ප්‍රචාරක වියදම පිළිබඳ සවිස්තරාත්මක අවබෝධයක් සපයයි. ප්‍රසිද්ධියේ තිබේ නම්, අපේක්ෂකයාගේ වත්කම් ප්‍රකාශ, මැතිවරණ ප්‍රකාශනය සහ ඔවුන්ගේ පාර්ලිමේන්තු කාර්ය සාධනය දැක්වෙන බාහිර සබැඳි ද අපේක්ෂක විස්තරයට ඇතුළත් වනු ඇත.

මැතිවරණ ප්‍රචාරක වියදම් ගණනය කරනු ලබන්නේ එක් එක් කාණ්ඩය සඳහා කලින් තීරණය කරන ලද අවම සාමාන්‍ය පිරිවැය සහ සූත්‍ර මත පදනම්වය. සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ධාරවේ මාධ්‍ය හරහා සිදු කරන මැතිවරණ ප්‍රචාරක වියදම් පිළිබඳව දැඩි අවධානයෙන් පසු වන අතර, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මගින් රට පුරා නිරීක්ෂකයින් යොදවා බිම් මට්ටමේ මැතිවරණ වියදම් පිළිබඳ තොරතුරු රැස් කරනු ඇත. පුරවැසියන්ට ද අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු පිළිබඳ තොරතුරු සැපයීමට මෙම වෙබ් අඩවිය හරහා පහසුකම් සපයා ඇත.

මෙම මෙවලමෙහි පසු-අන්ත පද්ධතිය හැසිරවීමට මැතිවරණ ප්‍රචාරක වියදම් පිළිබඳ විශේෂඥ කණ්ඩායමක් සහ තොරතුරු තාක්ෂණ විශේෂඥයෙකුගෙන් සමන්විත ලේකම් කාර්යාලයක් පිහිටුවා ඇත. මැතිවරණ නිරීක්ෂකයින් සහ පුරවැසියන් විසින් ඉදිරිපත් කරන ලද සියලු තොරතුරු “ඡන්ද සල්ලි මීටරේ” හරහා ප්‍රසිද්ධ කරනු ලබන්නේ සත්‍යාපනය කිරීමෙන් පසුවයි.

මැතිවරණයෙන් පසු සියලුම අපේක්ෂකයින් සහ පක්ෂ මැතිවරණ කොමිෂන් සභාවට ඔවුන්ගේ මූල්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතු බව නීතියෙහි දැක්වේ. එම වාර්තාවල අඩංගු දත්ත මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් සාමූහිකව වෙබ් අඩවිය වෙත වාර්තා කළ සොයාගැනීම් සමඟ සංසන්දනය කළ හැකිය.

මැතිවරණ වියදම් පිළිබඳ නිරීක්ෂණ මෙම සංවිධානවල ධාරිතාවය අනුව ආවරණය කළ හැකි තෝරාගත් පිරිවැය කාණ්ඩ ගණනකට සීමා වන බැවින් එක් එක් අපේක්ෂකයාගේ සම්පූර්ණ වියදම්වල තත්ත්වය පිළිබිඹු නොවේ. ජනාධිපතිවරණය සඳහා මුල් වරට යොදා ගැනෙන මෙම මෙවලම ඉදිරි මැතිවරණ සඳහා ද අවශ්‍ය වෙනස් කම් සහිතව භාවිත කිරීමට අපේක්ෂා කෙරේ.

ජංගම දුරකථන හෝ පරිගණක හරහා පහසුවෙන් ප්‍රවේශ විය හැකි මෙම වෙබ් අඩවියට තම තමන්ගේ ප්‍රදේශවල මැතිවරණ ප්‍රචාරක කටයුතු පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමෙන් මෙම ක්‍රියාවලියට සම්බන්ධ වී සහාය දෙන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි. ඒ අතරම, මැතිවරණ ප්‍රචාරක වියදම් නීති වලට නිසි ලෙස අනුගත වෙමින් ආදර්ශමත් නායකත්වයක් සැපයීමට ඔබට හැකි බව ක්‍රියාවෙන් පෙන්වන ලෙස අපි සියලු ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිමු.