ජනාධිපති අපේක්ෂකයින්ට වෛද්‍ය සංගමයෙන් යෝජනාවක්

ජනාධිපති අපේක්ෂකයින්ට වෛද්‍ය සංගමයෙන් යෝජනාවක්

මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින ජනාධිපති ධූර අපේක්ෂකයින් වෙත ඔවුන් විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්ති වන අතර, රටට සහ ජනතාවට හිතකර, නිදහස් සෞඛ්‍ය සේවාව සහ නිදහස් අධ්‍යාපනය සුරැකෙන හා තම සංගමය ඉදිරිපත් කර ඇති යෝජනාවළිය ඇතුළු ඕනෑම වැඩපිළිවෙලකට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිසිසේත් පසුබට නොවන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, ශ්‍රී ලංකාව තම ඉතිහාසයේ පෙර නොවූ විරූ අන්දමේ දැවැන්ත ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදයකට ගොදුරු වී සිටින මොහොතක ඉදිරි ජනාධිපතිවරණයෙන් අනතුරුව මෙරට පාලනය භාර ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම පාර්ශවයක වගකීම වනුයේ පටු දේශපාලන න්‍යාය පත්‍ර පසෙකලා, රටට සහ ජනතාවට හිතකර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි. එහිදී නිදහස් සෞඛ්‍ය සේවාව, වෛද්‍ය ක්ෂේත්‍රය, වෛද්‍ය අධ්‍යාපනය මෙන්ම නිදහස් අධ්‍යාපනය ද ඒ සියලු දෙනාට කිසිසේත් අත්හළ නොහැකි වගකීම් වේ. ඒ වෙනුවෙන් ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලබන ඉදිරි සැලසුම් සහ වැඩපිළිවෙළ දෙස අපි අවධානයෙන් බලා සිටිමු.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු ව්‍යවස්ථාපිතවම කිසිදු දේශපාලනමය බැඳීමක් නොමැති නිර්දේශපාලනීය සංවිධානයකි. එහෙත් වගකීමක් සහිත වෘත්තියවේදීන්ගේ සංවිධානයක් ලෙස අප සෑම විටම මෙරට පාලකයින් නිවැරදි දිශානතියට යොමු කරවීමට අවශ්‍ය කාර්යභාරය සහ මැදිහත්වීම සිදුකර ඇත.

ඒ අනුව මෙරට සෞඛ්‍ය සේවයේ, වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ වෛද්‍ය අධ්‍යාපනයේ සුරක්ෂිත බව තහවුරු කිරීමත්, ඉදිරි ප්‍රගමනයත් ඉලක්ක කර ගනිමින් සකස් කරන ලද යෝජනාවලියක් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සියලු අපේක්ෂකයින්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කර ඇත.

මේ වන විට මෙරට වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවාව සහ වෛද්‍ය අධ්‍යාපනය බරපතල අභියෝග ගණනාවකට මුහුණ දෙමින් සිටියි.

වඩාත් හිතකර වෘත්තිය පරිසරයක් බිහි කරමින් මෙරට වෛද්‍යවරුන් රැකගැනීමට මෙන්ම නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම හරහා නිරෝගී සහ ශක්තිමත් ප්‍රජාවක් බිහි කිරීමට අවශ්‍ය යෝජනා සහ වැඩපිළිවෙළත්, රාජ්‍ය සේවය වඩා ශක්තිමත් සහ කාර්යක්ෂම කිරීමේ වැඩපිළිවෙලත් මෙම යෝජනා මාලාවේ අන්තර්ගතව ඇත.

ඊට අමතරව ශක්‍යතා අධ්‍යනයකින් සහ විශ්ලේෂණයකින් අනතුරුව ගොඩනඟන ලද ජාතික ප්‍රතිපත්තියක් මත පමණක් පිහිටා වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ඉදිරි තීරණ ගත යුතු බව මෙම යෝජනාවලියේ යළිත් තහවුරු කර ඇත.

මෙම යෝජනාවලිය සියලුම ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට යොමු කරනු ලබන අතර ඔවුන් තම ප්‍රතිපත්ති ප්‍රකාශ සකස් කිරීමේදී සහ ඉදිරි වැඩපිළිවෙළ තීරණය කිරීමේදී, ඒ තුළ මෙම යෝජනා අන්තර්ගත වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

නිදහස් සෞඛ්‍ය සේවයේ සහ නිදහස් අධ්‍යාපනයේ මූලික හර පද්ධතීන් ආරක්ෂා කර ගනිමින් එම ක්ෂේත්‍ර වඩාත් ශක්තිමත් කිරීම මෙරට පාලකයින්ගේ ඉහළ ප්‍රමුඛතාවය සහිත ඉදිරි අරමුණක් විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශ්වාසයයි.

එහිදී වැදගත් වනුයේ  බලයේ සිටින පුද්ගලයාට, කණ්ඩායමට හෝ දේශපාලන පක්ෂයට වඩා ඔවුන් විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්ති වන අතර, රටට සහ ජනතාවට හිතකර, නිදහස් සෞඛ්‍ය සේවාව සහ නිදහස් අධ්‍යාපනය සුරැකෙන ඕනෑම වැඩපිළිවෙලකට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිසිසේත් පසුබට නොවනු ඇත.