ජනාධිපති අපේක්ෂකයින් වැඩකරන ජනතාව අමතක කිරීම ගැටළුවක් - ප්‍රොටෙක්ට් සංගමය

ජනාධිපති අපේක්ෂකයින් වැඩකරන ජනතාව අමතක කිරීම ගැටළුවක් - ප්‍රොටෙක්ට් සංගමය

ජනාධිපති අපේක්ෂකයින් විසින් මේ රටේ වැඩකරන ජනතාව පිළිබඳව අමතක කිරීම ගැටළුවක්  බව ප්‍රොටෙක්ට් සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ශ්‍රී ලංකාවේ 9 වන ජනාධිපතිවරණ ඡන්ද විමසීම 2024 සැප්තැම්බර් 21 වන දා පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා අපේක්ෂකයින් ලෙස 39 දෙනෙකු නාම යෝජනා ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව තම ජයග්‍රහණය සඳහා අපේක්ෂකයින් විසින් රට පුරා ප්‍රධාන රැළි ඇතුළුව රැස්වීම් සහ විවිධ ප්‍රචාරණ වැඩසටහන් සිදු කරමින් සිටී. එම වේදිකා වල විවිධ ආකාරයේ පොරොන්දු එකිනෙකා පරයා යමින් ජනතාව වෙත ඉදිරිපත් කරන ආකාරයක් දක්නට ලැබෙන අතර බොහෝ පොරොන්දු කලින් මැතිවරණ පොරොන්දු හා බොහෝ සෙයින් සමාන බවක් දක්නට ඇත. කෙසේ වුවද ඔවුන් ඒවා ජනතාවට විශ්වාසය ගෙනෙන අයුරින් නවමු ආකාරයෙන් ඉදිරිපත් කිරීමට උත්සාහ ගන්නා ආකාරයක් දක්නට ලැබේ. නමුත් වෘත්තීය සමිතියක් ලෙස අප මෙම පොරොන්දු සහ ප්‍රතිපත්ති දෙස අවධානයෙන් බලා සිටින විට පෙනෙන ගැටළු ගණනාවක් ඇත. ඒ අතරින් මෙම අපේක්ෂකයන් විසින් ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය පිළිබඳව ඉදිරිපත් කරන කාරනා සහ ඉදිරිපත් කිරීමට අපේක්ෂිත ප්‍රතිපත්ති පිළිබඳව අප ඉතා තීරණාත්මකව සිතිය යුතුව ඇත. මක් නිසාද යත් මේ රටේ වැඩ කරන ජනතාව පිළිබඳව පුළුල් ලෙස සිදු කරනු ලබන වැඩපිළිවෙලවල් මෙම අපේක්ෂකයන්ගෙන්  ඉදිරිපත් නොවන ආකාරයක් දක්නට ඇත.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ හිටපු කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් කම්කරුවන්ට අහිතකර නව සේවා නියුක්ති පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන ලදී. එය මේ වන විට කම්කරුවන් භුක්ති විඳින යහපත් රැකියා කොන්දේසි වලට එරෙහිව යමින් කම්කරුවා අවවරප්‍රසාදිතව ශ්‍රම සූරාකෑමකට ලක් විය හැකි බැවිණි. මෙම ප්‍රතිපත්ති වලට එරෙහි ප්‍රතිවිරෝධයක් අනෙක් අපේක්ෂකයන්ගෙන්ද එල්ල වන ආකාරයක් දක්නට නොලැබෙන අතර ඒ තුළ මෙරට ශ්‍රම බලකායේ අනාගතය පිළිබඳව සැකයක් මතු වේ.

මෙහි අපට ඇති ප්‍රධානම ගැටලුව නම් මෙරට සමස්ත ශ්‍රම බලකායෙන් 67% - 70% ත් අතර වන අවිධිමත් අංශයේ රැකියාවල නියුතු කම්කරුවන් සම්බන්ධව මේ අපේක්ෂකයන් විසින් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති මොනවාද යන්නයි. මේ වන තෙක් ප්‍රධාන අපේක්ෂකයින් කිසිවෙකු මේ රටේ අවිධිමත් අංශයේ කම්කරුවන් පිළිබඳව සාධනීය ප්‍රතිපත්ති කිසිවක් ඉදිරිපත් කර නොමැති අතර අවම වශයෙන් ඔවුන් හමු වී සාකච්ඡා කිරීමට හෝ අවස්ථාවක් ලබා දී නැත. මේ රටේ ගෘහ සේවකයන් ඇතුළු අවිධිමත් අංශයේ කම්කරුවන් සම්බන්ධයෙන් සිදු කල යුතු ප්‍රතිපත්තිමය කාරණා අප මෙම අපේක්ෂකයන් වෙත යවා ඇත. බොහෝ අපේක්ෂකයන් සහ නියෝජිතයන්ට භාරදීමද සිදු කර ඇත. එම කාරණා කිහිපයක් පහත පරිදි වේ.

  1. ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ගෘහ සේවකයින් සඳහා කම්කරු නීති සකස් කර යහපත් රැකියා කොන්දේසි සහ රැකියාවේ අයිතිවාසිකම් තහවුරු කිරීම.
  2. ශ්‍රී ලංකාව තුළ ILO C189 සහ C190 සම්මුතීන් අපරානුමත කිරීම.
  3. අවිධිමත් අංශයේ රැකියාවල නියුතු කම්කරුවන් සඳහා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක්/ අරමුදලක් සකස් කිරීම.
  4. අවිධිමත් අංශයේ ශ්‍රමිකයන්ගේ රැකියාවේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා සහ ජිවන තත්ත්වය නගාසිටුවීම සඳහා ජාතික ප්‍රත්පත්තියක් සකස් කිරීම.
  5. ජාතික කම්කරු උපදේශන සභාවේ (NLAC) නියෝජන ලබා දීම.
  6. සංක්‍රමණ ශ්‍රමිකයින් (Migrant Workers) අයිතිවාසිකම් සහිත පිරිසක් බවට පත් කිරීම සහ සුනිසි රැකියා තත්වයන් තහවුරු කිරීම.

හිටපු කම්කරු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාලද සිල්වා සහ මනුෂ නානායක්කාර යන දෙදෙනාම උක්ත කාරණා සම්බන්ධව එම ශ්‍රමිකයන්ට පොරොන්දු ලබා දුන් අතර එම පොරොන්දු සාමාන්‍යයෙන් දේශපාලකයන් ලබා දෙන ව්‍යාජ පොරොන්දු පමණක්ම වී ඇත.

අවිධිමත් අංශය සඳහා සමාජ ආරක්ෂණ වැඩසටහනක් අවශ්‍ය බව අමාත්‍යවරයාට ඉල්ලීම් කළ පසු එය ගරු සරු නම් නමක් යොදා ගෙන රට පුරා රැස්වීම් ගණනාවක් මනුෂ නායක්කාර අමාතයවරයා සිදු කළද ඒවා අවසානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රචාරණ ව්‍යාපෘතියකින් අවසන්ව අමාත්‍ය ධූරය සමගම අවසන් ගමන් ගිය බව දක්නට ලැබිණි.

ගෘහ සේවකයින් සඳහා කම්කරු නීති සකස් කිරීමට නම්  හිශාලිනී වැනි දැරියන් සහ රාජකුමාරි නම් කාන්තාවන් තවත් කොපමණ පිරිසක් මේ රට තුළ මිය යාමට අවශ්‍යදැයි මෙරට පාලකයින් සහ වගකිවයුතු බලධාරීන් පැවසිය යුතුව ඇත. මේ රට මරණ වලින් පාඩම් ඉගෙන ගන්නා රටක් නොවන බව අප දනිමු. නමුත් සමාජයේ ප්‍රගමනය වෙනුවෙන් දහදිය මහන්සිය වගුරන කම්කරුවන් විසින් සෘජුව සහ වක්‍රව ගොඩනගන ආර්ථිකය මේ රටේ සියලු බර දරාගෙන සිටී.

මෙරටේ ආර්ථිකයේ සුවිශේෂී කොටස් කරුවන් වන සංක්‍රමණික ශ්‍රමිකයන් වාර්ෂිකව ඩොලර් බිලියන 7 කට ආසන්න විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් එවන අතර පසු ගිය මාස 6 තුළ එය ඩොලර් බිලියන 3.14 ක් වූ බව වාර්තා විය. මේ රටේ කිසිම පාලකයෙකු විසින් මේ රටේ ආර්ථික වර්ධනය වෙනුවෙන් කිසිදු සැලසුම්ගත වැඩපිළිවෙලක් සිදු නොකර බංකොලොත් කළ පසු මේ රටේ ජනතාවගේ ජිවන බර උසුලාගෙන සිටියේ මේ සංක්‍රමණික ශ්‍රමිකයන් විසිනි. නමුත් ඔවුන් පිළිබඳව මේ රටේ පත්වෙන්නට හැල්මේ දුවන ජනාධිපති අපේක්ෂකයින්ගේ අවධානය යොමු නොවී තිබීම ඛේදවාචකයකි. මක් නිසාද මෙම ශ්‍රමිකයන් තමන්ගේ රැකියාව පිළිබඳව තමන්ට තීරණය කල නොහැකි, තමන් එවන මුදල් වලට කිසිදු වටිනාකමක් නොමැති සහ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකට හිමිකම් නොකියන පිරිසක් බවට පත්ව ඇත.

අපට මේ අපේක්ෂකයින්ට කිව යුතු කරුණක් ඇත. ඔබලා විසින් ලබා දෙන පොරොන්දු සහ ඉදිරිපත් කරනු ලබන ප්‍රතිපත්ති දෙස මේ රටේ කම්කරු ජනතාව අවධානයෙන් බලා සිටී. විශේෂයෙන් මෙරට අවිධිමත් අංශයේ අව වරප්‍රසාදිත කම්කරුවන්ගේ හෙට දවස ගැන ඔවුන්ට ඇත්තේ අවිනිශ්චිත බාවයකි. එම අවිනිශ්චිත බාවය වෙනුවට ඔවුන් ද යහපත් රැකියා කොන්දේසි සහිත ශ්‍රමිකයන් පිරිසක් බවට පත් කිරීමට අදාළ සැලසුම් ප්‍රතිපත්ති ප්‍රකාශ වලට ඇතුළත් කර ක්‍රියාත්මක කරනු ඇතැයි අපේක්ෂා කරමු. එසේම තම අපේක්ෂාවන් ඉටු කර ගැනීම සඳහා ඔවුන් දිනෙන් දින ශක්තිමත්ව සංවිධානය වන ආකාරයද ඉතා වැදගත් කාරණයක් වන අතර අපේක්ෂකයින් විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රතිපත්ති සකස් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම පිළිබඳව තීරණ ගන්නා ක්‍රියාවලිය තුළ ඔවුන් සක්‍රිය භූමිකාවක් ඉටු කිරීමට අපේක්ෂාවෙන් සිටී.