මර්දන අණපනත් ගැන ජනාධිපති අපේක්ෂකයින් ස්ථාවරය මොකක්ද - මර්දනකාරී නීතිවලට එරෙහි මාධ්‍ය හා සිවිල් සංවිධාන සාමූහිකය 

මර්දන අණපනත් ගැන ජනාධිපති අපේක්ෂකයින් ස්ථාවරය මොකක්ද - මර්දනකාරී නීතිවලට එරෙහි මාධ්‍ය හා සිවිල් සංවිධාන සාමූහිකය 

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ඇතුළු මූලික අයිතීන් මර්දනය කෙරෙන  අනපනත් සම්බන්ධයෙන් අනුගමනය කරන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ස්ථාවරය ප්‍රකාශ කරන මෙන් ඉල්ලා සිටිමින් මර්දනකාරී නීතිවලට එරෙහි මාධ්‍ය හා සිවිල් සංවිධාන සාමූහිකය 

විසින් සියලුම ජනාධිපති අපේක්ෂකයින් වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙම ලිපිය  ඔබ වෙත යොමු කරන 'මර්දනකාරී අනපනත්වලට එරෙහි සන්ධානය'  මාධ්‍ය හා සිවිල් සංවිධාන මෙන්ම වෘත්තීය සමිති හැටකට අධික සංඛ්‍යාවකින් සුසැදි ජනමාධ්‍ය, මානව හිමිකම් හා සමාජ ක්‍රියාධරයින් මෙන්ම විද්වත් වෘත්තිකයන්ගෙන් සමන්විත සාමූහිකයකි. අප සන්ධානයේ අරමුණ මර්දනකාරී අණපනත්වලට එරෙහිව ගත හැකි සියලු ආකාරයේ නීත්‍යානුකූල පියවර ගැනීමයි.

මාර්ගගත ක්‍රමවේදවල ආරක්ෂාව පිළිබඳ පනත ඇතුළුව ආණ්ඩුව මෑත සම්මත කළ හා දැනට කෙටුම්පත් කර හෝ සාකච්ඡාවට භාජනය කර ඇති පනත් ගණනාවක් සම්බන්ධව අපගේ අවධානය යොමුව පවතී.  අප සන්ධානයේ ඒකමතික තීරණය  වනුයේ ආණ්ඩුව විසින් පසුගිය වකවානුව තුළ ඉතා හදිස්සියේ සම්මත කරනු ලැබූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත ඇතුළු තවත් පනත් ගණනාවක්ම ජනතාවගේ ව්‍යවස්ථාපිත අයිතීන් කෙරෙහි ඉතා අහිතකර අන්දමින් බලපාන මහජන පීඩාකාරී පනත් වන බැවින් ඒවා  අහෝසි කළයුතු බවය.

පෙත්සම්කරුවන් 52 දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද ඇතැම් මාර්ගෝපදේශ පවා නොතකා හරිමින්, පාර්ලිමේන්තුව මගින් හදිසියේ සම්මත කරගනු ලැබූ  'මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව' පිළිබඳ පනත ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ  අයිතිවාසිකම බරපතල ලෙස සීමාකිරීමක්  බව අප සන්ධානයේ ඒකමතික අදහසයි.

 අප සාමූහිකයට අමතරව   භාෂණය සහ ප්‍රකාශනයේ අයිතිවාසිකම වෙනුවෙන් ක්‍රියාත්මකවන ජාත්‍යන්තර සංවිධාන,ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව වැනි සංවිධානවල බලවත් විරෝධය හමුවේ නැවත එම පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව විසින් සංශෝධන පනත් කෙටුම්පතක් හඳුන්වා දී ඇතත්, නව කෙටුම්පත තුළද භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට ඉතා අහිතකර කරුණු අඩංගුව පවත්නා බැවින් එම පනත සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බව අප සන්ධානයේ ඒකායන ස්ථාවරයයි.

යෝජිත ත්‍රස්ත මර්දන සංශෝධන පනත් කෙටුම්පතද පාර්ලිමේන්තුවෙන් ඉවත් කර  එය නැවත  පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කිරීම සඳහා සාකච්ඡා මේසයට ගෙන යායුතු බවද අපගේ අදහසයි. එහිලා ජීනිවා මානව හිමිකම් කොමිසම සමග ශ්‍රී ලංකාවේ රජය ඇති කරගෙන තිබූ එකඟතා සැළකිල්ලට ගන්නා මෙන්ද රජයෙන් ඉල්ලා සිටීම අපගේ අපේක්ෂාවයි.

එමෙන්ම රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කිරීමට රජය විසින්  සකස් කර ඇති රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය පිළිබඳව පනත් කෙටුම්පත, විකාශන අධිකාරිය පිළිබඳ පනත් කෙටුම්පත, කම්කරු පනත් කෙටුම්පත ඇතුළු රජය විසින් ගෙන ඒමට සැලසුම් කර ඇති අනෙකුත් මර්ධනකාරී පනත් කෙටුම්පත් වහාම අත්හිටුවිය යුතු බවද අප සන්ධානයේ ස්ථාවරයයි.

රටක පැවැත්ම කෙරෙහි නීති රෙගුලාසි අත්‍යවශ්‍ය නමුත් ඒවා ජනහිතකාමී හා ශිෂ්ට බවේ කොන්දේසිවලට අනුකූල විය යුතුය යන්න සේම යුක්ති සහගත විය යුතුය යන්න ගෝලීය පිළිගැනීමයි. එබැවින් සියලු ආකාරයේ අහිතකර හා අශිෂ්ට නීතිවලට එරෙහිව ක්‍රියා කරන බවට අප ප්‍රතිඥා දෙන අතර ජනාධිපති අපේක්ෂක ඔබ බලයට පැමිණි පසු මේ නීති ගෝලීය ප්‍රමිතීන්ට අනුව ප්‍රතිසංස්කරණය කිරීම, අහෝසි කිරීම හෝ නැවත සළකා බැලීම සඳහා විශේෂඥ මට්ටමේ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා වන ඔබගේ කැපවීම ඇතුළත් ප්‍රතිචාරයද අපි අපේක්ෂා කරමු. .

ජනාධිපතිධූර අපේක්ෂක වරයෙකු ලෙස ඉහත කරුණු  සම්බන්ධයෙන් ඔබගේ දැඩි අවධානය යොමු කරන ලෙසද, දේශපාලන පක්ෂ නියෝජිතයෙකු හෝ ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන් මෙම කරුණු සම්බන්ධයෙන් ඔබ දරන ස්ථාවරය ඔබගේ ජනාධිපතිවරණ  ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔස්සේ  ප්‍රසිද්ධියට පත් කරන ලෙසද අපි ඔබගෙන් ඉල්ලා සිටිමු.

මේ සම්බන්ධ ඔබගේ ස්ථාවරය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළු කරන මෙන් යෝජනා කරන අතර ඔබ හෝ ඔබගේ නියෝජිතයෙ සමග අදාල කරුණු සාකච්ඡා කිරීමට අවස්ථාව දෙන මෙන්ද ඉල්ලා සිටිමු.

අපගේ මෙම ලිපියට ඔබ දක්වන කවර අන්දමක හෝ ප්‍රතිචාරය ඡන්දදායක පුරවැසියාගේ දැනුවත් බව සඳහා සියලු ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරන බවද කාරුණිකව දැනුම් දෙමු.