අධීකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්න - නීතිඥ සාමූහිකය

අධීකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්න - නීතිඥ සාමූහිකය

ප්‍රජාතන්ත්‍රිය පාලනය, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඡන්දය භාවිත කරන ලෙස නීතිඥ සාමූහිකය ප්‍රකාශය විසින් නිකුත් කර තිබෙනවා.

එම ප්‍රකාශයේ වැඩිදුරටත් දක්වා සිටින්නේ, එළැඹෙන ජනාධිපතිවරණයේදී, ශ්‍රී ලංකාවේ අනාගත පාලනය සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර වන ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි අවධානය දක්වන ලෙස ඡන්දය ප්‍රකාශ කරන මහජනතාවට නීතිඥ සාමූහිකය ප්‍රකාශ කර සිටී.

ප්‍රජාතන්ත්‍රවාදය තුළ, පාර්ලිමේන්තුවේ, ජනාධිපතිවරයා ප්‍රමුඛ විධායකයේ සහ අධිකරණයේ විවිධ බලතල හා වගකීම්වලට ආයතන විසින් ගරු කරනු ලැබිය යුතුය. නීතියේ ආධිපත්‍යය සුරැකීම රටේ සහ එහි ජනතාවගේ යහපැවැත්ම සඳහා වැදගත් වන අතර එය තිරසාර හා සමෘද්ධිමත් ආර්ථිකයක්, ප්‍රජාතන්ත්‍රවාදී සහ සාධාරණ සමාජ ක්‍රමයක් සහ වගවීම සහිත පාලනයක් ගොඩනැගීමේ අත්‍යවශ්‍ය අංගයක් වේ.

ජනතාව සහ ආණ්ඩුව විසින් පිළිගතයුතු කරුණ වන්නේ, මානව හිමිකම් සුරැකීම ඇතුළත් නීතියේ ආධිපත්‍යය සදහා, පාලනයේදී  තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගීවීමට ජනතාවට ඇති අයිතිය, නිසි කලට නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම, අධිකරණයේ ස්වාධීනත්වය, දූෂණය වැළැක්වීම, පාලනයේ විනිවිදභාවය, අනුබද්ධභාවය සහ සාධාරණ ලෙස බලය බෙදාහැරීම, සමානාත්මතාවයට ඇති අයිතිය, වෙනස්කම් නොකිරීම සහ නීතියේ සමාන ආරක්ෂාව, වගවීම සහතික කිරීම සහ දණ්ඩමුක්තිය ප්‍රතික්ෂේප කිරීම වැනි බොහෝ අංග ඇතුළත් බවයි.

වසර ගණනාවක් පුරා, ශ්‍රී ලංකාව නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ සම්මතයන් හි අඛණ්ඩ පරිහානියක් අත්දැක ඇති අතර, එය රටේ ආර්ථික යහපැවැත්මට සෘජුවම බලපා ඇති අතර මිනිසුන්ගේ දෛනික ජීවිතයට ද බලපා ඇත. නීතියේ ආධිපත්‍යයේ පරිහානියේ ප්‍රතිපලයක් ලෙස වැරදි ආර්ථික කළමණාකරණය, මහා පරිමාණ අල්ලස් හා දූෂණය, දණ්ඩමුක්තිය, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ පුද්ගලයන්ට සහ දේපළවලට එරෙහි ප්‍රචණ්ඩත්වය පැන නැගී ඇත. තවද මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය හා පීඩාවට පත් වූවන් විසින් තීරණ ගැනීම හෑල්ලූවට ලක් කරන නීති කිහිපයක් පසුගිය කාලයේ පනවා ඇත. 2022 ආර්ථික හා දේශපාලන අර්බුදය යනු නීතියේ ආධිපත්‍යය බිඳවැටීම සහ ප්‍රධාන ආයතන දුර්වල වීම හේතුවෙන් ඇති වූ පාලන ක්‍රමවේදයේ අර්බුදයකි. ඒ නිසා ආපසු හැරවීමට හා වෙනස් කිරීමට මෙවැනි බොහෝ දේ ඇත.

ශ්‍රී ලංකාව ආර්ථික හා සමාජීය ස්ථාවරත්වයක් අත්කර ගැනීමට නම් පාර්ලිමේන්තුව, අධිකරණය, පොලිසිය ඇතුළු රාජ්‍ය සේවය ඇතුළු අනෙකුත් ස්වාධීන ආයතන ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම දූෂණය සහ රාජ්‍ය සම්පත් නාස්තිය පිළිබඳ ප්‍රශ්නය ද විසදාගතයුතුව ඇත.

ඒ නිසා අධිකරණය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, පොලිසිය, රාජ්‍ය සේවය, මහ බැංකුව, ස්වාධීන කොමිෂන් සභා ඇතුළු ආයතනවල ස්වාධීනත්වය හා සුපිළිපන්නභාවය අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම් සහ බලපෑම්වලින්  ආරක්ෂා කිරීමට කැපවන ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම අත්‍යවශ්‍ය වේ. අපේ රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට මේවා අත්‍යවශ්‍යයි.  මේ සඳහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත්, මධ්‍යගත සහ ඒකාධිපති බලයෙන් විතැන්වීමටත් පැහැදිලි කැපවීමකි පැවතීම ඉතා වැදගත් වේ.

වසර ගණනාවක් පුරා මෙම ආයතනවලට ඇඟිලි ගැසීම් හෝ මැදිහත්වීම්වල ප්‍රධාන මූලාශ්‍රයක් වූයේ සංවරණයකට යටත් නොවූ විධායක ජනාධිපතිවරයාගේ බලතල වේ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපති තනතුරේ බලය අවභාවිතයන් සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත් ආයතනයක් බවට පත්ව ඇත. එබැවින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය සුරැකීමට පදනම වන අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම වර්තමානයේදී මෙන්ම අනාගතයේදී ද ඉතා වැදගත් වේ. ස්වාධීන සහ ධෛර්ය සම්පන්න අධිකරණයක් නොමැතිව, රාජ්‍ය බල අධිකාරීන් මගින් තම අයිතීන් උල්ලංඝනය වීමෙන් පීඩා විඳි පුරවැසියන්ට තම අයිතිවාසිකම් ඵලදායී ලෙස තහවුරු කිරීමට හෝ සහනයක් ලබා ගැනීමට නොහැකි වනු ඇත.

ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන පුද්ගලයාට ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ, පොලිසියේ සහ රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් කිරීමේ හැකියාවක් පවතී. එසේ තේරී පත්වන ජනාධිපතිවරයාට 2024 දෙසැම්බර් මාසයේදී ඇති වන අගවිනිසුරු ධූරයේ පුරප්පාඩුව ඇතුළුව ඉදිරි මාස කිහිපය තුළ ඉහළ අධිකරණවල ඇති වන පුරප්පාඩු කිහිපයක් පිරවීමට අවස්ථාව ලැබෙන බව නීතිඥ සාමූහිකය සඳහන් කරයි.

ඔබ ඡන්දය ප්‍රකාශ කරන විට, අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ අත්‍යවශ්‍ය බව මතකයේ තබා ගන්නා ලෙස නීතිඥ සාමූහිකය ඡන්දය ප්‍රකාශ කරන මහජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටී.

මෙයට විශ්වාසී,

නීතිඥ සාමූහිකය වෙනුවෙන්,

ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය

ජනාධිපති නීතිඥ එම්.එම්. සුහායිර්

මහාචාර්ය, නීතිඥ සාවිත්‍රි ගුණසේකර

ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ජනාධිපති නීතිඥ ඩිනාල් ෆිලිප්ස්

ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම්

ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

මහාචාර්ය දීපිකා උඩගම

මහාචාර්ය කමීනා ගුණරත්න

ජනාධිපති නීතිඥ එස්. ටී. ජයනාග

ජනාධිපති නීතිඥ නලීන් දිසානායක

ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම

නීතිඥ ශ්‍රීනාත් පෙරේරා

නීතිඥ දර්ශන කුරුප්පු

නීතිඥ චන්දිම අතපත්තු

නීතිඥ සදමාල් රාජපක්ෂ

නීතිඥ කෝසල දාබරේ

නීතිඥ මනෝජ් නානායක්කාර

නීතිඥ අමිල එගොඩමහවත්ත

නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ