ලංකාවේ ඖෂධ මාෆියාව ක්‍රියාත්මක කරන්නේ ඖෂධ සංස්ථාවයි

ලංකාවේ ඖෂධ මාෆියාව ක්‍රියාත්මක කරන්නේ ඖෂධ සංස්ථාවයි

ලංකාවේ ලොකුම ඖෂධ මාෆියාව ක්‍රියාත්මක කරන්නේ, ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවප බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සභාපති රවි කුමුදේස් මහතා (09) දින පැවැි මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියා.

එහිදි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, සමාගම් සමග එකතු වෙලා, සෞඛ්‍ය ලේකම්ගේ තීරණ හරවන තරමට, ඔවුන්ගේ මාෆියාව ලොකු වී ඇත් බවත්, සමාගම් අතර තරඟය ඇතිකරලා,  බිලියන දාසයක් විතර ඉතුරු කරපු සෞඛ්‍ය ලේකම්ගේ තීරණයට බලපෑම් කරන්න සමාගම් උසිගන්වන්නේ ඖෂධ නිෂ්පාදන සංස්ථාව බව පවසා සිටියා.

ඖෂධ නිෂ්පාදන සංස්ථාව කියන්නේ ලේබලයක් විතරයි. ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඖෂධ නිෂ්පාදනය කරනවා කියලා බොහෝ අය හිතාගෙන හිටියට, එතන සිද්ධ වෙන්නේ වැඩිපුර ලේබල් ගහන එක. වසරකට ඇනුම් තුන්සියයක් විතර භාරගත්තට, දෙසීයකට වැඩි ප්‍රමාණයක් පෞද්ගලික සමාගම් වලින් අරන් ලේබල් ගහන ඒවා. ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදනාගාරයේ නිෂ්පාදනය කරන ඖෂධ පවා 80%ක් පමණ බද්ධ සමාගම්වලින් අරගෙන ලේබල් ගහන ඒවා. බොරුවට ඖෂධ නිෂ්පාදන සමාගමක් තියාගැනීමෙන් රටටවත් ජනතාවටත් ඇති සෙතක් නැහැ. ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඇත්තටම ඖෂධ නිෂ්පාදනය කරන තැනක් වෙන්න ඕනේ. එහෙම නැත්තං ජනතාවගේ ඖෂධ මිල තවත් වැඩි කරන තැනක් විදිහට, එක එක අයට කොමිෂන් ගන්න හදපු සංස්ථාවක් විදිහට ඒක පවත්වාගෙන යාමෙන් වැඩක් නැහැ.

දේශීය නිෂ්පාදකයන් කැඳවලා සෞඛ්‍ය ලේකම්වරයා ගත්ත තීන්දුවල සාධනීය බවක් තිබෙනවා. දේශීය හෝ වේවා විදේශීය හෝ වේවා සමාගම් අතර තරගයක් ඇති කරන එක සියලු සෞඛ්‍ය පරිපාලකයන්ගේ වගකීමක්. ඒක ඉටු කිරීම වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඒ හරහා මේ වසරට පමණක් සෞඛ්‍ය ලේකම්වරයා බිලියන 16ක පමණ ඉතුරුවක් කරලා තිබෙනවා.

ඇතැම් අය මේක විවේචනය කරමින් කියන්නේ සෞඛ්‍ය ලේකම්වරයා පගා ගහපු බවක්. නමුත් එක ඖෂධයකවත් මිල වැඩි නොකර, සමස්ත වියදම විශාල ප්‍රමාණයකින් අඩු කර ගත්ත තීරණයක් හරහා පගා ගහන්නේ කොහොමද. පගා ගැහුවත් ඒක ජනතාවට අවාසි නැහැ.

ඖෂධවල ගුණාත්මක තත්ත්වය වැඩි කිරීමට සහ වැය බර අඩු කිරීමට ලොව පුරා අනුගමනය කරන එකම ක්‍රමය  සමාගම් අතර තරගකාරීත්වය වැඩි කිරීමයි. ඖෂධ මාෆියාව කියන්නේ, ඒකට විරුද්ධව ඒකාධිකාරය සාදා ගැනීම සඳහා නිලධාරීතන්ත්‍රය සහ නියාමන ආයතන හසුරවා ගැනීමයි. ඖෂධ මාෆියාව ස්ථාවර කරන්න සමහර අය නොදැනුවත්ව කතා කරන බව පේන්නට තිබෙනවා.

දේශීය සමාගම්වල මිල තීරණය කිරීමේදී සුපිරි සමාගම් වලට එක මිල කමිටුවක් සහ එහෙම නොවන සමාගම් වලට තව මිල කමිටුවක් ඇති කිරීම 2017 වර්ෂයේ දී ගත්ත වැරදි තීන්දුවක්. දේශීය සමාගම් රැක ගැනීම සඳහා ආරම්භක සමයේදී එය අවශ්‍ය වුණත්, දැන් ඔවුන් වෙළඳපොළ තරඟයට මුහුණ දිය හැකි තරමට වැඩි දියුණු වී සිටිය යුතුයි. ඔවුන්ට වැඩි මිලක් තීරණය කරන්නට ඉඩ ලබා දී, මහජනතාවට අවාසී කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකළ යුතුයි.

අභිලාෂ කැඳවීම හරහා සෞඛ්‍ය ලේකම්වරයාගේ නව තීරණයට පෙර, පසුගිය වසර තුළ මීට සමාන ඖෂධ ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා බිලියන 54ක පමණ මුදලක් වැය කර තිබෙනවා. මෙම නවතීරණය සමඟ ඒ සඳහා වැය වන්නේ බිලියන 38කට වඩා අඩු ප්‍රමාණයක්. රුපියල් 12000/- ක පමණ මිලකට සැපයූ ඇතැම් ඖෂධ, මෙම නව තීරණයත් සමඟ රුපියල් 750ක වැනි මුදලකට සැපයීමට ඇතැම් සමාගම්වලට සිදුවෙලා තිබෙනවා. සියලුම ඖෂධ කලින් වසරේ ගත් මිලට වඩා අඩු මිලට ගැනීමට සෞඛ්‍ය ලේකම්වරයාගේ මෙම නව තීරණය හේතුවෙලා තිබෙනවා. කාලාන්තරයක් තිස්සේ වෙනස් විය යුතු තීරණයක්, වෙනස් කරන්නට යන මොහොතේ සියලු දෙනාගේ සහයෝගය ඊට ලැබිය යුතුයි.

මොන ජනාධිපතිවරයා පත්වුණත්, මෙම තීරණය ලංකාවේ ඖෂධ මාෆියාව වැළැක්වීම සඳහා ගතයුතු තීරණයක් වන බැවින්, දේශපාලනික කාරණාවක් ලෙස  ඊට බාධා නොකරන ලෙස, අපි දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා.