සමිති නායකයින් දඩයමට එරෙහිව වෛද්‍ය සංගමයෙන් රතු එළි

සමිති නායකයින් දඩයමට එරෙහිව වෛද්‍ය සංගමයෙන් රතු එළි

වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක අසාධාරණ, පදනම් විරහිත විනය හා පක්ෂග්‍රාහී විනය පරීක්ෂණ ඉවත් කරගනිමින් මෙම ගැටලුව විසඳීමට අපොහොසත් වන්නේ නම්, මෙම වෘත්තිය ක්‍රියාමාර්ග  වඩාත් තීව්‍ර කිරීමට සිදුවනු ඇති අතර, එහිදී සෞඛ්‍ය සේවා අඩපණ වීමෙන් ජනතාවට යම් අපහසුතාවයක් ඇති වන්නේ නම්, එහි සම්පූර්ණ වගකීම මෙම න්‍යාය පත්‍ර පිටුපස ඇති සියලු පාර්ශව භාරගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, දුෂ්කරතා ගණනාවක් මධ්‍යයේ වුව ද ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව ඉහලින්ම ඔසවා තැබීම වෙනුවෙන් කැප වී සිටින වෛද්‍යවරුන් අධෛර්යමත් කරන සහ පීඩාවට පත් කරන ක්‍රියාමාර්ග සහ පාර්ශව ගණනාවක් සම්බන්ධයෙන් අප දිගින් දිගටම කරුණු හෙළි කර ඇත.

වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින්ගේ කාර්යභාරය සහ සෞඛ්‍ය සේවාවන් පිළිබඳ කිසිඳු තාක්ෂණික දැනුමක් නොමැති සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශයේ නිලධාරීන්ගේ අත්තනෝමතික සහ පදනම් විරහිත  ක්‍රියා කලාපය, දිගින් දිගටම වෛද්‍යවරුන් පීඩාවට පත් කරමින් ඇත.

වඩා බැරෑරුම් ගැටලුව වනුයේ, සෞඛ්‍ය සේවාවේ ගැටලු සහ අක්‍රමිකතා පිළිබඳ ජනතාවට සත්‍යය හෙළි කරන වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීමේ ප්‍රයත්නයන්ය. ඖෂධ හිඟය සහ එහි බලපෑම් පිළිබඳ ජනතාව දැනුවත් කළ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් සහ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා මත පටවන ලද අසාධාරණ, අයුක්තිසහගත සහ පක්ෂග්‍රාහී විනය පරීක්ෂණය තවමත් අවසන් නොවීම ඊට හොඳම උදාහරණයයි.

දේශපාලන බලපෑම් මත, කිසිදු විධිමත් පැමිණිල්ලකින් තොරව විමර්ෂන අංශය විසින් මෙම විනය පරීක්ෂණය ආරම්භ කර පවත්වාගෙන ගොස් ඇති අතර, එහිදි අනුගමනය කරන ලද ක්‍රමවේදය ද අතිශයින් දෝශ සහගත බව නිරීක්ෂණය වී ඇත. එමෙන්ම වත්මන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශ පවා මුළුමනින්ම නොසලකා හරිමින් කටයුතු කරන රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා අනුකමිටුවේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ද අතිශයින් ප්‍රශ්ණසහගතය. මෙම සමස්ත ක්‍රියාවලිය පිටුපස හිටපු දේශපාලන බලාධිකාරියක් ක්‍රියාත්මක වන්නේ දැයි බරපතල සැකයක් පවතී.

ඒ අනුව වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාගේ විනය පරීක්ෂණය, එහි ආරම්භයේ සිටම පදනම්  විරහිත සහ පක්ෂග්‍රාහී ලෙස, ඔහු ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ හඬ නිහඬ කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කර ඇති බව තහවුරු වෙමින් ඇත.

මෙම අසාධාරණ විනය පරීක්ෂණයට සහ විමර්ශන අංශයේ අත්තනෝමතික ක්‍රියාමාර්ගයන්ට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, මෙරට සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි උද්ඝෝෂණ මාලාවක් පසුගිය සතියේ දී පවත්වන ලදී.

එහෙත් තවමත් මෙම ගැටලුව විසඳා අවසන් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා අනුකමිටුව ප්‍රමුඛ වගකිවයුතු පාර්ශව අසමත් වී තිබීම විමතියට කරුණකි. එයින් පෙනී යන්නේ විරෝධතා හරහා ලබාදුන් සංඥාව නිවැරදිව වටහා ගැනීමට ඔවුන් සමත් වී නොමැති බවයි.

එබැවින්, ඊයේ දිනයේදී පැවැත්වුණු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ හදිසි විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම ගැටලුව වහාම විසඳීමට වගකිවයුත්තන්ට බල කරමින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග එළඹෙන සතිය තුළ දී වඩාත් තීව්‍ර කිරීමට ඒකමතිකව තීරණය කරන ලදී.

ඒ අනුව පහත තීරණවලට එළඹෙන ලදී.

  1. රට පුරා සියලු රෝහල් පරිශ්‍රයන් තුල විරෝධතාවය පල කරමින් කලු කොඩි දැමීම.
  2. වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීමේ උත්සාහය පිළිබඳව අත්පත්‍රිකා බෙදාහරිමින් ජනතාව දැනුවත් කිරීම.
  3. අසාධාරණ විනය පරීක්ෂණය ඉවත් කර  වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට සාධාරණය ඉටු කිරීමට දින 07 ක කාලයක් ලබා දෙනු ලැබේ. එය ඉටු කිරීමට අපොහොසත් වන්නේ නම් එළඹෙන සැප්තැම්බර් මස 18 වැනි බදාදා දින උදෑසන 8.00 සිට දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කරන ලදී.
  4. මෙම විනය පරීක්ෂණය අසාධාරණ සහ පක්ෂග්‍රාහි ලෙස පැවැත් වූ විමර්ෂණ අංශයේ නිලධාරීන්ට එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කල යුතුය.
  5. සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ෂණ අංශය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට දින 14 ක කාලයක් ලබා දෙනු ලැබේ. ඒ වෙනුවෙන් සාධනීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවන්නේ නම්, මෙම මස අවසන් සතියේදි පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්විමේදි ඒ පිළිබඳ ඉදිරි තීරණ ගනු ඇත. 

නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් තම හඬ අවදි කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් සහ වෘත්තීය සමිති නායකයින් මර්දනය හරහා නිහඬ කළ හැකි යැයි යම් පාර්ශවයක් සිතන්නේ නම්, එය අතිශයින් වැරදි බව මේ වන විට සනාථ වෙමින් පවතී.

අසාධාරණ සහ පක්ෂග්‍රාහී විනය පරීක්ෂණ ඉවත් කරගනිමින් මෙම ගැටලුව විසඳීමට අපොහොසත් වන්නේ නම්, මෙම වෘත්තිය ක්‍රියාමාර්ග  වඩාත් තීව්‍ර කිරීමට සිදුවනු ඇති අතර, එහිදී සෞඛ්‍ය සේවා අඩපණ වීමෙන් ජනතාවට යම් අපහසුතාවයක් ඇති වන්නේ නම්, එහි සම්පූර්ණ වගකීම මෙම න්‍යාය පත්‍ර පිටුපස ඇති සියලු පාර්ශව භාරගත යුතුය.