දරුවන් මුහුණ දෙන අනාරක්ෂිත භාවයෙන් සහ තරගකාරී අධ්‍යාපන ක්‍රමයෙන් දරුවන් බේරා ගැනීමේ සැළැස්මක් අවශ්‍යයි - ආචාර්ය හරිනි අමරසූරිය

දරුවන් මුහුණ දෙන අනාරක්ෂිත භාවයෙන් සහ තරගකාරී අධ්‍යාපන ක්‍රමයෙන් දරුවන් බේරා ගැනීමේ සැළැස්මක් අවශ්‍යයි - ආචාර්ය හරිනි අමරසූරිය

‘’රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යට මුල්තැනක් දෙමු’’  තේමාවෙන් ලෝක මානසික සැමරුම් දින ජාතික උත්සවය සමරයි.

අනාරක්ෂිතභාවය සහ තරඟකාරී අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් දරුවන් ප්‍රශ්න රැසකට මුහුණ දෙන බවත්, දරුවන් එයින් මුදා ගැනීමට විධිමත් සැලැස්මක් අවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය

අග්‍රාමාතයවරිය මේ බව සඳහන් කළේ, ‘’රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යට මුල්තැනක් දෙමු’’ යන්න තේමා කර ගනිමින් කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී ඊයේ දින (08) පැවති ලෝක මානසික සෞඛ්‍ය දින ‍ජාතික සැමරුම් උත්සවට සහභාගි වෙමිනි.

මානසික ව්‍යාකූලතාවය හේතුවෙන් ලොකයේ වසරකට ලක්ෂ 07 ක සංඛ්‍යාවක් සිය දිවි නසා ගැනීම් සදහා යොමුව වන අතර, මානසික පීඩාවෙන් දුක් විදිනු ලබන්නේ බොහෝ විට වයස අවුරුදු 15 ත්, 29 ත් අතර තරුණ පරපුර බව සෞඛ්‍ය දත්ත වර්තා තුළ සඳහන් වේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය, හරිනි අමරසූරිය,

පාසල් පද්ධතිය සහ සමාජය තුල දරුවාගේ ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකිවීම සහ අධ්‍යාපනයට අදාල ක්ෂේත්‍රවල ඇතිව තිබෙන තරගකාරීත්වය තුලින් පාසල් දරුවන් ප්‍රශ්ණ රාශියකට මුහුණ දෙනවා.  දරුවන් එයින් මුදවා ගන්න විධිමත් සැළැස්මක් අවශ්‍යයි. පවුල සහ ප්‍රජාව තුල දරුවන්ගේ මානසික සෞඛ්‍ය රැකගැනීමට සකස් කළ යුත්තේ කුමන ප්‍රතිපත්ති ද, සැළසුම් ද යන්න පිළිබදව විශේෂ අවධානයක් යොමු විය යුතුයි.

මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය අතිශයින්ම වැදගත් අවධානය නොලබන ක්ෂේත්‍රයක් ‘’රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යට මුල්තැනක් දෙමු’’ යන්න වැදගත් තේමාවක්. ආර්ථීක දේශපාලන සාමාජීය අර්බුධ රැසක් පවතින කාලවකවානුවක වැඩ කරන ස්ථානය තුල සියළු පුරවැසියන්ට මුහුණදීමට සිදුවන ආතතීන් අපහසුතා වැඩි වෙනවා. තමන්ගේ දරුවා පාසලට බාරදුන් පසු පාසල තුල ආරක්ෂාව පිළිබද විශ්වාසයක් නැතිනම්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිළිබද විශ්වාසක් ඇතිව දරුවන් තැබිය නොහැකි නම්, වැඩිහිටියන් බලාගැනීමට නිසි ක්‍රමවේදයක් සමාජය තුල නැතිනම් ආයතනය තුල තිබිය යුතු මානසික සුවය සමග වැඩ කිරිමට අපහසු වෙනවා.

ආයතනයක් තුල ස්ත්‍රී පුරුෂ අනන්‍යතා නිසා ඇතිවන වෙනස් කොට සැළකීම්, ලිංගික අතවර වැනි දේ පිළිබදවත් අවධානය යොමු කළ යුතුයි. සියදිවි නසාගැනීම්, සියදිවි නසා ගැනීමට තැත් කිරිම් වැනි දේවල් දැන් ප්‍රචලිත වෙලා තිබෙනවා. පාසලේ, ගරුවරුන්ගේ, දෙමාපියන්ගේ අතපසුවීමි නිසා මේ දේවල් සිදු වන බව කියමින් දොස් කියන්න සිදුවෙලා තිබෙනවා.

ඊට එහා මේ කරුණ දිහා අවධානය යොමු කර දරුවන් මේ සදහා පත් කරන ක්‍රියාවලිය පිළිබදව අවධානය යොමු කළ යුතුයි. තරුණ තරුණියන් වෙනුවෙන් සංවේදී මානසික සෞඛ්‍ය සේවාවන් දියුණූ කිරීම පිළිබද අවධානය යොමු කිරීමත්  ඉතාමත්ම අත්‍යාවශයයි.

ගෘහය සහ වැඩකරන ස්ථානය තුල ජනතාවට මානසික සුවය ලබාදිය යුත්තේ කෙසේ ද, මානසික සුවය සහ මානසික යහපැවැත්ම දියුණුව සදහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම සහ සමාජය තුල සාකච්ඡාවක් ඉතා වැදගත් වෙනවා. ආයතනය තුල තිබෙන විධිවිධාන සහ නීතිරීති පිළිබදව පමණක් නොව සමාජය තුල සමතුලිතතාවයක් පවත්වා ගත හැකි පරිසරක් ගොඩනැගීමට මැදිහත් වී ඇති ආකාරය පිළිබදවත් අවධානය යොමු කළයුතුයි.

ළමා නිවාස, රැදවුම් නිවාස, මානසික සෞඛ්‍ය සදහා වන රෝහල් මෙන්ම ආයතනගත පුද්ගලයින්ගේ මානසික සෞඛ්‍ය සේවා දියුණූ කිරීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබදවත් අවධානය යොමු කළ යුතුයි. සියළුම ක්ෂේත්‍රවල වැඩ කරන සියළු සේවකයින් පිළිබද අවධානය යොමු කළ යුතුයි. මෙය අතිශයින්ම වැදගත් මාතෘකාවක්. මම ඉල්ලීම් කරන්නේ පුළුල් ලෙස මේ පිළිබද සාකච්ඡා කරන ලෙසයි. මෙය වෛද්‍ය ප්‍රශ්ණයක් පමණක් නෙමෙයි. මෙය මනෝ සමාජීය ප්‍රශ්ණයක්. මානසික සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට ඇති බාධාවන් කුමක් ද යන්න පිළිබද හොද තේරීමක් අවධානයක් තිබිය යුතුයි. ඒ වෙනුවෙන් සියළු දෙනා වැඩ කළ යුතුයි. ඒ සදහා රජයක් ලෙස අප ප්‍රමුඛතාවය ලබාදීමට කටයුතු කරනවා.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය නියෝජනය කරමින් වෛද්‍ය ශලාලා අමදෝවා, මානසික සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂ රොහාන් රත්නායක යන මහත්ම මහත්මින් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය කාර්ය මණ්ඩල ඇතුලු පිරිසක් එක්ව සිටියහ.