මඩකලපුව රෝහලේ ලීනීයර් ඇක්සලරේටර් යන්ත්‍රය අක්‍රීය වීමෙන් පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර ඇණහිටී

මඩකලපුව රෝහලේ ලීනීයර් ඇක්සලරේටර් යන්ත්‍රය අක්‍රීය වීමෙන් පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර ඇණහිටී

මඩකලපුව රෝහලේ පිලිකා ප්‍රතිකාර ඒකකයෙහි ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රය පසුගිය සිකුරාදා (04 වෙනිදා) සිට බිදවැටීම හේතුවෙන් විකිරණ ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් ගත වී සිටින රෝගීන් සහ ප්‍රතිකාර  බලාපොරොත්තුවෙන් සිටින රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

එම නිවේදනයට අනුව, දිනකට පිළිකා රෝගීන් 35 -40 ක් අතර ප්‍රමාණයක් මෙම යන්ත්‍රයෙන් ප්‍රතිකාර ලබා ගැනීම සිදුකළ අතර එම රෝගීන් අතර ඉතා දුර බැහැර ප්‍රදේශයන්ගෙන් ප්‍රතිකාර කටයුතු සඳහා යොමු වූ රෝගීන්ද මේ අතර සිටින අතර මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයකට ලක්වී ඇත.

දැනට දිවයින පුරා පිළිකා ආයතනවල  ලීනියර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර 10 ක් ස්ථාපනය කර ඇති අතර මඩකලපුව රෝහලේ පවතින විකිරණ ප්‍රතිකාරක යන්ත්‍රය මගින් හම්බන්තොට,  මොනරාගල ,  අම්පාර, මඩකලපුව, පොළොන්නරුව , අනුරාධපුර , ත්‍රිකුණාමලය ආදි වූ ප්‍රදේශවල රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු සිදුකිරීම කරගෙන යනු ලැබිණ.

සාමාන්‍යයෙන් පිළිකා රෝගියෙකුගේ විකිරණ ප්‍රතිකාරයක් දින 5 ත් 35 ත් අතර පරාසයකට පැතිරෙන අතර විකිරණ ප්‍රතිකාර ලබාදිය යුතු දින ගණන අදාළ රෝග තත්ත්වය අනුව තීරණය කරනු ලබයි.

තවමත් වගකීම් කාලයට යටත්ව පවතින මෙම යන්ත්‍රයෙහි ඇතිවන දෝෂ යථා තත්ත්වයට පත් කිරීම සඳහා දිගු කාලයක් ගතවීම සම්බන්ධයෙන් ගැටලු පවතින අතර මෙවැනි අධි තාක්ෂණික සහ සුවිශේෂී ප්‍රතිකාර සිදුකරන යන්ත්‍රයක් බිඳවැටී පවතින කාල සීමාව ඉතා අවම මට්ටමක පවත්වාගත පවත්වාගත යුතු වීම අත්‍යවශ්‍ය වේ. එයට හේතු වන්නේ පිළිකා රෝගියකුගේ විකිරණ ප්‍රතිකාර කටයුතු බිඳවැටීමකින් තොරව අඛණ්ඩව සිදුකළ යුතු වීමයි. කෙසේ නමුත් මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අදාළ පාර්ශවයන් මේ පිළිබඳව දැනුවත් කර ඇතත් මේ මොහොත වනතුරුත් යන්ත්‍රය නැවත යථා තත්ත්වයට පත් කිරීම සිදුවී නොමැත.

මෙම යන්ත්‍රයක වටිනාකම රුපියල් කෝටි 61කට වඩා වැඩි වන අතර ලීනියර්  එක්සලරේටර් යන්ත්‍රයකින් සිදුකරන විකිරණ ප්‍රතිකාරයක් පෞද්ගලික අංශයෙන් සිදුකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 5 සිට 17 ක මුදලක් වැය කිරීමට රෝගියෙකුට සිදුවෙයි.

මෙවැනි නඩත්තු කටයුතු ඉතා ඉක්මනින් සිදු නොවීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීම අදාල නිලධාරීන් විසින් කඩිනමින් සිදුකළ යුතු අතර මෙවැනි තත්ත්වයන් මගින් නව රජය අපහසුතාවයට පත්වීම වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම අදාළ සියලු පාර්ශ්වයන්ගේ වගකීම බව පෙන්වා දෙයි.