මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන අත්අඩංගුවට ගතහොත් දැඩි ලෙස විරෝධය පාමින් ගත හැකි සියළුම පියවරයන් ගන්නවා- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන අත්අඩංගුවට ගතහොත් දැඩි ලෙස විරෝධය පාමින් ගත හැකි සියළුම පියවරයන් ගන්නවා- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ගවේෂණාත්මක මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා, තමන් අත්අඩංගුවට ගැනීමේ සැළසුමක් ක්‍රියාත්මක වන බවට සැකයක් පවතින බව සඳහන් කරමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලිපියක් යොමු කර ඇති බව සඳහන් කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය යම්හෙයකින් කුමන්ත්‍රණකාරී ලෙස ඒ මහතා අත්අඩංගුවට ගතහොත් ගත හැකි සියලු පියවරයන් ගැනීමට පසුබට නොවන බව පවසයි.

2019 වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරය සහ ඊට අදාළ බව විමර්ශන මගින් හෙළිදරව් වී ඇති සෙසු සිදුවීම් පිළිබඳ වාර්තා කිරීම් වැඩිම ගණනක් විවිධ මාධ්‍යය ඔස්සේ ප්‍රකාශයට පත් කර ඇති මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතාගේ ගවේෂණාත්මක වාර්තා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේද අවධානයට යොමුව තිබුණි. එසේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ ක්‍රියාකලාපය විමර්ශනවලට බලපෑමක් බව වාර්තා කරමින් ඔහුට එරෙහිව සුදුසු නියෝගයක් නිකුත් කරන මෙන් ගරු අධිකරණයෙන් ඉල්ලා ඇත.

සිය ක්‍රියාකලාපය නිසා අධිකරණය හමුවේ දෝෂ දර්ශනයට ලක් වී ඇති හා එල්ල වූ චෝදනා මත මින් පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කොට තිබියදී 2019 ගෝඨාභය රාජපක්ෂ පාලනය මගින් නැවත කැඳවා පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට එරෙහිව කුමන්ත්‍රණ සිදු කිරීමට කටයුතු කළ නිලධාරියෙකු ලෙස තරිඳු ජයවර්ධන මහතාගේ ලිපියෙන් හඳුන්වා දී ඇති පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වාගේ ක්‍රියාකලාපය ගැන විමතියට පත්වන බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙයි.

ඒ පාස්කු ප්‍රහාරයට අදාලව වින්දිත පාර්ශවවලට යුක්තිය ඉටුකිරීම දිනෙන් දින පමාවන හා හුදු දේශපාලන පොරොන්දුවක් වී ඇති පසුබිමක සැබෑ ජනතා ඉල්ලීම ඉටු කිරීම පසෙක දමා තිරය පිටුපස සැඟවුණු බියකරු රහස් හෙළිකරමින් සිටින මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සම්බන්ධයෙන් කුමන්ත්‍රණකාරී හැසිරීමකට පොලීසිය කැස කැවීම නිසායි.

පාස්කු ප්‍රහාරයේ වින්දිත ජනයා වෙනුවෙන් මුලු රටම ඉල්ලා සිටින යුක්තිය දිනා දීමට ක්‍රියා කිරීම මේ මොහොතේ පොලීසිය හමුවේ ඇති බරපතලම අභියෝගය බව පවසන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පරීක්ෂණ නොමග යවමින් කැකිල්ලේ තීන්දු ලබා ගැනීමට කටයුතු නොකරන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පොලීසියට දැනුම් දෙන අතර යම් හෙයකින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන අත්අඩංගුවට ගත හොත් ඔහුගේ ආරක්ෂාව හා අයිතීන් වෙනුවෙන් දැඩිව විරෝධය දක්වමින් ගත හැකි සියලු පියවර ගන්නා බව දැනුම් දෙයි.