සෞඛ්‍ය වෘත්තිකයින්ගේ වෘත්තීය දැනුම, කුසලතාවය සහ නිපුණත්වයන් දියුණු කිරීමට විශේෂ ව්‍යාපෘතියක්

mlt-training
  • කොළඹ දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන් සදහා පුහුණු වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යවරයාගේ  ප්‍රධානත්වයෙන්

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ  වෘත්තීය දැනුම, කුසලතාවයන්, සංවර්ධනය සහ නිපුණත්වයන් දියුණු කර මෙරට රජයේ රෝහල් හා සෞඛ්‍ය ආයතනවලින් ප්‍රතිකාර සහ සේවාවන්  ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට සහ ජනතාවට විශිෂ්ට, ගුණාත්මක සේවාවක් නිරතුරුව ලබා දීම අරමුණ කරගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විශේෂ පුහුණු වැඩසටහන් මාලාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ යටතේ වෛද්‍යවරුන් සදහා පවත්වනු ලබන පුහුණු වැඩසටහනේ සමාරම්භක උත්සවය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන සේවා මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පසුගිය දා පැවැත්විණි.

මෙම පුහුණු වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශයේ පුහුණු ඒකකය මගින් සංවිධානය  කරනු ලැබී ය.

පුහුණු වැඩසටහන සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල සේවයේ නිරත වෛද්‍යවරුන් 150 කට අධික  පිරිසක් සහභාගි වී සිටින ලදී.

වෛද්‍යවරුන් සදහා ආරම්භ කරන ලද මෙම පුහුණු වැඩසටහන ඉදිරියේ දී දිවයින ම ආවරණය වන පරිදි දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ පුහුණු ඒකකය කටයුතු යොදා ඇත.

මෙම සමාරම්භක අවස්ථාවේ අදහස් දැක්වු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, මෙරට සෞඛ්‍ය පද්ධතියේ ගුණාත්මභාවය වැඩි දියුණු කිරීම සදහා වෘත්තිකයාගේ වෘත්තීය නිපුණත්වය ඉහළ නැංවීම අතිශය වැදගත් බව, හඳුනාගෙන ඇති බවත් ඒ අනුව සෞඛ්‍ය වෘත්තිකයින් වෘත්තීය වශයෙන් සවිබල ගැන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අඛණ්ඩව වැඩසටහන් සංවිධානය කරන බව ද පැවසී ය. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පුහුණු අවස්ථා ලබා දීම තුළින් වෘත්තීය නිපුණත්වය සහ දැනුම වර්ධනය කරගැනීමට අවස්ථාව ලැබෙන අතර එය කාර්යක්ෂම සේවාවක් ලබා දීමට බෙහෙවින් ඉවහල් වන, එමෙන් ම ඉහළ ප්‍රමිතියකින් යුතුව දැනටමත් ජනතාවට සපයන සේවාවන් හි ප්‍රමිතිය තවදුරටත් ඉහළ නැංවීමට ද මෙවැනි පුහුණු වැඩසටහන් අතිශය වැදගත් වන බව ද පෙන්වා දෙන ලදී.

මෙරට ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබා දිමටත්, ඉදිරි සෞඛ්‍ය අභියෝගයන්වල ට සාර්ථකව මුහුණ දීමටත් මෙවැනි  පුහුණු වැඩසටහන් බෙහෙවින් ඉවහල් වන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත්  පැවසී ය.

සංවර්ධිත රටවල අඛණ්ඩ ව වෘත්තීය සංවර්ධනය අනිවාර්ය කර ඇති අතර එය එම වෘත්තිකයන්ගේ වාර්ෂික ඇගයීම් සදහාත්, වෘත්තීය අන්‍යතාවය මෙන් ම ලියාපදිංචි වීම් සඳහාත්, වෘත්තීය සහතික යාවත්කාලීන කර ගැනීම් සදහාත් එම පුහුණුවීම් අනිවාර්ය කර ඇති බව මෙහි දී අනාවරණය විය. එම ක්‍රමවේදය මෙරට සෞඛ්‍ය සේවාව සදහාත් අනුගත කිරීමට මේ වන විට මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් සකස් කර ඇති බවත්, එම පුහුණු වැඩපිළිවෙළ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ද පිළිගෙන ඇති බව ද මෙහි දී  ප්‍රකාශ විය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, හදිසි ප්‍රතිකාර පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය, ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය,  ශ්‍රී ලංකා රක්තවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ඇතුළු තවත් සංගම් සහ විද්‍යායතන මෙම පුහුණු වැඩසටහන සදහා සම්පත් දායකත්වය  දක්වනු ලැබී ය.

මෙම සමාරම්භක අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන,පුහුණු හා පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) විශේෂඥ වෛද්‍ය එස්.ශ්‍රීධරන්, අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශයේ පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන්ත රණසිංහ,කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පිඨාධිපති සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ  වෛද්‍ය විද්‍යායතනයන් නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද,වෛද්‍යවරුන් පිරිසක් ද එක්වූහ.