අධිකරණ තීරණයත් සමග පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්ගේ වර්ජනය අත්හිටුවයි

strike-called-off

පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෛද්‍ය රසානාගාර විද්‍යාඥ වෘත්තිකයන් සහ  භෞතචිකිත්සක වෘත්තිකයන් ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය ඊයේ (27) දින උදෑසන 8.00ට තාවකාලිකව අත්හිටුවීමට පරිපූරක වෛද්‍ය සේවාවට අයත් සියලු වෘත්තීය සංගම් නායකයන්ගේ රැස්වීමේදී තීරණය කළ අතර මෙම තීරණය ගැනීමට අභියාචනාධිකරණය විසින් නිකුත් කරන ලද තීන්දුවද හේතු විය.

සියලු වෘත්තීය සමිති නායකයන් මෙම ගැටලුවට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් විසඳුම් ලබා නොදෙන්නේ නම් ලබන සතියේදී ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණය වීමට එකඟතාවය පළ කළ අතර හෙට දිනයේ දී මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡා කිරීමට නැවත සියලු වෘත්තිය සමිති නායකයන් කැඳවීමට තීරණය කරන ලදී.

ඒ අනුව (27) දි 8.00ට ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය (28) දින පෙරවරු 8.00ට අවසන් වන අතර රෝගී ජනතාවට සාමාන්‍ය පරිදි පරිපූරක වෛද්‍ය සේවාවට අයත් සියලු වෘත්තික කණ්ඩායම්වල සේවාවන් ලබාගත හැකි බව ප්‍රකාශයට පත් කරමි.

කෙසේ නමුත් මෙම පරිපූරක වෛද්‍ය සේවාවට අයත් උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ  ගැටලුව සම්බන්ධයෙන් නිසී විසඳුමක් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී තවදුරටත් සෞඛ්‍ය සේවාව තුළ වර්ජන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වීම නොවැළැක්විය හැකි බව ප්‍රකාශ කරන අතරම සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් සාකච්ඡා මාර්ගයෙන් ගැටළු විසඳීම මගහැරමින් මේ ආකාරයෙන් කටයුතු කිරීම බරපතල තත්ත්වයක් බවද ප්‍රකාශ කර සිටි.

මේ පිළිබඳව ජනාධිපතිතුමාගේ  මැදිහත්වීම අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කරන අතරම එසේ නොවන්නේ නම් සෞඛ්‍ය සේවාව තවදුරටත් බරපතල අර්බුදයන්ට ලක්වීම වළක්වා ගත නොහැකි වන බව මේ අනුව පැහැදිලි වන බවද ප්‍රකාශ කර සිටිමි.

චානක ධර්මවික්‍රම

ප්‍රධාන ලේකම්

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ  ඒකාබද්ධ බල මණ්ඩලය