CMU හිටපු ප්‍රධාන ලේකම් බාලා තම්පෝ සමරයි

CMU හිටපු ප්‍රධාන ලේකම් බාලා තම්පෝ සමරයි
  • ඔහුගේ ප්‍රයත්නයෙන් ගෙන එන ලද රැකියා සුරක්ෂිත කිරීමේ සේවය අවසන් කිරීමේ පනත රැක ගැනීමට අදිටන් කර ගනිමු.
  • සේවයෙන් පහ කළ වෙළඳ කලාපයේ නෙක්ස්ට් ආයතනයේ සේවකයින් වෙනුවෙන් හඞ නඟමු.

ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමයේ (සීඑම්යූ) ප්‍රධාන ලේකම්ව සිට 2014 වසරේ අභාවප්‍රාප්ත වූ දිවංගත බාලා තම්පෝ සහෝදරයාගේ 103 වන ජන්ම දිනය යෙදී ඇත්තේ 2025 මැයි 23 වන දිනටය. සංගමයේ 38 වන ද්වීවාර්ෂික නියෝජිත සම්මේලනය යෙදී ඇති මෙම මස 23 වන දිනටම ඔහුගේ ජන්ම දිනය යෙදී තිබීම තවත් විශේෂයකි.

මොහුගේ ජන්ම දිනය සිහි කරන මේ මොහොතේ ඔහු විසින් මෙරටෙහි වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කර ඇති මහඟු සේවය සිහි කිරීම අප සියළු දෙනාගේම වගකීම වනු ඇත.

ධනේෂ්වර ආණ්ඩු සහ පාලකයින් ඉදිරියේ කම්කරුවන් සහ ජනතාවගේ මානව සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් ජීවිත අනතුරු පවා නොතකා නිර්භීතව පෙනී සිටි ඔහු හුදෙක්ම කම්කරු නායකයෙකු පමණක් නොව, සමාජ විද්‍යාඥයෙක්, බුද්ධිමතෙක්, මානවවාදියෙක් සහ ජන නායකයෙක් වශයෙන් හඳුන්වා දුනහොත් නිවැරදිය.

ඔහු තම මරණය දක්වාම කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු වන අතර ඔහුගේ නායකත්වයෙන් සහ සක්‍රීය දායකත්වයෙන් දිනා ගන්නා ලද බොහෝ අයිතිවාසිකම් අදටත් කම්කරුවෝ භුක්ති විඳිති.

සේවකයන්ගේ රැකියා අවසන් කිරීමේ පනත ගෙන ඒමට ඔහු කළ සටන හේතුවෙන් 1971 හි අගමැතිව සිටි ඩඩ්ලි සේනානායක මහතා අවසානයේදී මෙම පනත සකස් කිරීම සම්බන්ධ වගකීම භාරගන්නා ලෙස ඔහුගෙන් ඉල්ලා සිටි අතර ඔහුගේ දායකත්වයෙන් සකස් වූ එම පනත හේතුවෙන් සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු වී ඇති අතර පුද්ගලික අංශයේ සේවකයින් නිදැල්ලේ අස්කර දැමීමට ඇති විශාලතම බාධාවක් ලෙස එම පනත අදටත් සක්‍රීයව පවතී.

මෙම පනත හේතුවෙන් මෑතකදී වසා දමන ලද කටුනායක වෙළඳ කලාපයේ නෙක්ස්ට් ආයතනයේ සේවකයින් 1,500 කට ආසන්න පිරිසගේ සේවය අවසන් කිරීම නීතිවිරෝධී වන අතර, ඔවුන්ට රැකියා වෙනුවට විශාල වන්දි ලබා ගැනීමටද ඉඩ සලසා ඇත.

මෙම පනත ඉවත් කර දැමීමට පසුගිය ආණ්ඩුව සහ වර්තමාන ආණ්ඩුව ද වෙර දරන හෙයින් බාලා තම්පෝ සහෝදරයා සිහි කරන මේ අවස්ථාවේදී ඔහුට දක්වන ගෞරවයක් වශයෙන් අප සියළු දෙනා අත්වැල් බැඳගෙන මෙම පනත රැක ගැනීමට සටන් කිරීමට අදිටන් කර ගැනීම ඔහුට දක්වන සැබෑ ගෞරවයක් වනු ඇත.

ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය (සීඑම්යූ)