ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය වෙත අපනයනය කරන භාණ්ඩ සඳහා පනවන ලද තීරු බද්ද 20%ක් දක්වා අඩු කර ඇති අතර, පළමු අවස්ථාවේදී එය 44%ක් විය.
ශ්‍රී ලංකාවේ වැඩි ම අපනයන ප්‍රමාණයක් ඇමෙරිකා එක්සත් ජනපදයට සිදු කරන අතර 2023 වසරේ ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට අපනයනය කර ඇති ප්‍රමාණය ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනයෙන් 23.16%කි.
එම අපනයනයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9කට ආසන්න වටිනාකමක් උපයාගෙන ඇත්තේ ඇඟලුම් අපනයානය හරහායි.
ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන මණ්ඩලයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට ඇඟලුම් කර්මාන්තය ශ්‍රී ලංකාව තුළ 300,000කට අධික පිරිසකට ඍජු රැකියා සහ 600,000කට අධික වක්‍ර රැකියා අවස්ථා සපයයි.
ඇමෙරිකානු තීරු බදු පැනවීම ඇඟලුම් කර්මාන්තයට ඍණාත්මක බලපෑමක් ඇති කරන බවට එම තීරු බදු පැන වූ මුල් අවස්ථාවේදී ම විශේෂඥයන් විසින් අනතුරු අඟවන ලද අතර, අප කටුනායක අපනයන සැකසුම් කලාපය ආශ්‍රිතව සිදු කළ ක්ෂේත්‍ර චාරිකාවකදී මෙම තීරු බදු සිය රැකියාවට යම් බලපෑමක් ඇති කළ හැකි බවට අප සමග අදහස් පළ කළ කර්මාන්ත ශාලාවල සේවය කරන කාන්තාවෝ පැවසූහ.
මේ වන විට තීරු බදු 20%ක් දක්වා අඩුවීමත් සමග ඒ සම්බන්ධයෙන් යම් කිසි ධනාත්මක හැඟීමක් බොහෝ දෙනෙකු තුළ ඇති ව තිබුණත්, පසුගිය මාස තුනකට ආසන්න කාලය තුළ තීරු බදු පිළිබඳව ඇතිව තිබූ අවිනිශ්චිත තත්ත්වය අපනයන සැකසුම් කලාපවල සේවකයන්ට ඉතා අයහපත් ලෙස බලපෑ බවට බීබීසී සිංහල වෙත අදහස් පළ කළ එම කලාපය ආශ්‍රිතව ක්‍රියාත්මක වන වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෝ චෝදනා කරති.
මෙම තීරු බදු අයකිරීම ආරම්භ කිරීමට පෙර එම කර්මාන්ත ශාලා විසින් ලබාගෙන තිබු ඇණවුම් අවසන් කිරීම සඳහා මෙලෙස ශ්‍රමිකයන් පිට අධික බරක් යොදවා එලෙස සේවය ලබාගෙන ඇතැයි ඔවුහු බීබීසී සිංහල වෙත කියා සිටියහ.
'ටාගට් වැඩි කරලා වැඩ කරන අයට මේක පාවිච්චි කරලා අනවශ්‍ය බරක් දුන්නා'
කටුනායක අපනයන සැකසුම් කලාපයේ ක්‍රියාත්මක වන වෘත්තීය සමිතියක් වන Standup Movementහි අශිලා දන්දෙණිය බීබීසී සිංහල වෙත පැවසුවේ, මුල් අවස්ථාවේ තීරු බදු 44%ක් ලෙස නිවේදනය කිරීමත් සමග කර්මාන්තශාලාවල සේවය කළ කම්කරුවන්ගෙන් අධික ලෙස වැඩ ගැනීමක් සිදුවූ බව ය.
"පහුගිය කාලේ ටැරිෆ් එක නිසා ගොඩක් දේවල් වෙළෙඳ කලාපේ සිද්ධ වුණා. වැඩ කරන අයගෙන් අසීමිත විදිහට වැඩ ගත්තා. වැඩ කරන අයව නොමඟ යවමින් අපට මෙච්චර දේවල් ගෙවන්න තියෙනවා, ඔයාලා ඒවා මේවා ඉල්ලන්න ලෑස්ති වෙන්න එපා, තියෙන පඩියට, තියෙන ඉන්සෙන්ටිව් එකට වැඩ කරන්න කියලා එක පැත්තකින් එයාලව කිසි දෙයක් නොඉල්ලන විදිහට එයාලගේ මානසිකත්වය හැදුවා," ඇය පැවසුවා ය.
"අනිත් පැත්තෙන් දින 90ක කාල සීමාවක් තිබුණනේ මේක ක්‍රියාත්මක වෙන්න. ඒ අනුව ඒ දින 90 ඇතුළේ වැඩ ඉවර කරන්න කියලා ඕටී තියාගෙන, එහෙමත් නැතිනම් සමහර කර්මාන්ත ශාලාවල ටාගට් වැඩි කරලා, පැයට දෙන්න ඕනේ ටාගට් ප්‍රමාණය වැඩි කරලා වැඩ කරන අයට මේක පාවිච්චි කරලා අනවශ්‍ය බරක් දුන්නා."
ඇය පැවසුවේ, මෙලෙස අධික ලෙස වැඩ ඉලක්ක ලබා දීම ත් සමග ඒවා සපුරාලීම දුෂ්කර වූයෙන් එය එම සේවකයන්ගේ මාසික වැටුපට එකතුවන දිරි දීමනාවට බලපෑමක් ඇති කළ බව ය.
"එහෙම බරක් දීලා ගත්ත ඕඩර්ස් ඉක්මනට ඉවර කරන්න උත්සහ කළා. එතකොට ටාගට් කවර් කරන්න අමාරු වෙන විදිහට හැදුන මේ වැඩ රටාව ඉතා ම නරක විදිහට වැඩ කරන අයගේ ඉන්සෙන්ටිව් එකට බලපෑවා," ඇය පැවසුවාය.
'කෑලි 50ක් තිබුණු ටාගට් එක 80 දක්වා වැඩි කරපු තැන් තිබුණා. ඕටී පැය දෙකක් කරපු තැන්වල පැය හතරක් ඕටී කරපු තැන් තිබුණා'
මෙම තීරු බදු ගැටලුව මතු වන විටත් සේවකයන් මත අධික බරක් පැට වී තිබූ බව අශිලා දන්දෙණිය පැවසුවා ය.
"ඉතිහාසයේ බැලුව ම මොකක් හරි ව්‍යසනයක් වුණා ම යම් වෙනස් කම් ප්‍රමාණයක් සිදු වෙනවනේ. කොවිඩ් වසංගත කාලයේදීත් ලයින් එකක වැඩ කරන ප්‍රමාණය වගේ දේවල් වෙනස් වුණා ඒ වෙද්දී තිබුණ අවශ්‍යතාවන්ට හරියන විදිහට. වැඩ කරන සේවක සංඛ්‍යාව අඩු කරලා වැඩ කරන්න ඕනේ ප්‍රමාණය වැඩි කරනවා වගේ දේවල් කළා," ඇය පැවසුවා ය.
නමුත් සාමාන්‍ය තත්ත්වයන් යටතේදී එය නැවත යථා තත්ත්වයට පත් නොවූ බව ඇය පෙන්වා දුන්නා ය.
"කොවිඩ් ඉවර වෙලා සාමාන්‍ය තත්ත්වයට පත්වුණා කියලා අර දේවල් නැවත වෙනස් කළේ නෑ. ඒ කාලේදී සේවකයන් 25කින් 30කින් ගත්ත වැඩේ සේවකයන් 10කින් 15කින් ගන්න පටන් ගත්තා. නමුත් දැනුත් ඒ විදිහට ම තමයි මේ අය වැඩ කරගෙන යන්නේ. ඒ සේවකයන් අඩු කරපු එක එයාලා සාමාන්‍ය තත්ත්වයට නැවත ආවට වෙනස් කළේ නෑ."
තීරු බදු සම්බන්ධයෙන් මේ වන විට අපනයන සැකසුම් කලාපය තුළ ඇතිව තිබෙන තත්ත්වය ද තවදුරටත් සේවකයන්ට පීඩනයක් එල්ල කරන බව ඇය පැවසීය.
"දැනුත් මේ ටැරිෆ් එක ඇතුළෙත් ඒක තමයි වෙන්නේ අපට පේන විදිහට. වැඩ කරන අයගේ පැයකට දෙන්න ඕනේ ටාගට් ප්‍රමාණය වැඩි කළා. බෝනස් ගැන, වැටුප් වැඩි කිරීම් ගැන වෙන අදහසක් දුන්නා. මේක කරන්න බෑ, මෙහෙම වෙන්න බෑ, මේවා වහන්න වෙන්නේ, ලොකු තරගයක් දැන් මේ රැකියාවලට තියෙනවා, ඒ නිසා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න ඕනේ වගේ අදහසක් ඒ මිනිස්සුන්ගේ ඔළුවට දැම්මා," ඇය පැවසුවා ය.
"දැන් ටැරිෆ් එක හැදුනා කියලා මේ විදිහට හදපු තත්ත්වයන් ආපහු හැරවෙන්නේ නෑ."
මේ වන විට සේවකයන්ට වැඩ අධික වී ඇති ආකාරය ද අශිලා විස්තර කළා ය.
"සමහර ප්‍රඩක්ෂන් ලයින්වල පැයකට තිබුණු ටාගට් එක මුලින් ම වැඩි කළා. කෑලි 50ක් තිබුණු ටාගට් එක 80 දක්වා වැඩි කරපු තැන් තිබුණා. ඕටී පැය දෙකක් කරපු තැන්වල පැය හතරක් ඕටී කරපු තැන් තිබුණා. එතකොට අර දින 90 ඇතුළේ ඕඩර් ටික යවන්න කියලා තමයි වැඩ කරන සේවකයන් දැනුවත් කරලා තිබුණේ. අපට දැනගන්න ලැබිලා තියෙන විදිහට මෙහෙම කියලා තව ඉස්සරහට තියෙන ඕඩර්ස්වලටත් එක්ක සේවකයන්ගෙන් වැඩියෙන් වැඩ අරගෙන තියෙනවා."
"හැම ව්‍යසනයකට ම පස්සේ ඒක සේවකයන්ගේ පිට පටවන්න වෙනස්කම් කරනවා. ඊට පස්සේ ඒක දිගට ම කරගෙන යනවා. වැඩකරන අයට හානියක් වෙන විදිහට කරන කිසි ම වෙනස් කමක් මෙයාලා අපහු හරවන්නේ නෑ කියන එක තමයි අපට ඉතිහාසය පුරා ම තියෙන අත්දැකීම."
| හැම ව්‍යසනයකට ම පස්සේ ඒක සේවකයන්ගේ පිට පටවන්න වෙනස්කම් කරනවා
'වියදම අඩු කරන්න ඒසී ඕෆ් කරලා, අයන් කරන සෙක්ෂන් එකේ අධික රස්නෙන් ළමයි වැඩ කරන්නේ'
නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් බීබීසී සිංහල වෙත පැවසුවේ, එම කලාපවල සේවකයින්ට මේ දිනවල අධික වැඩ ප්‍රමාණයක් කිරීමට සිදුව ඇති බවට සිය වෘත්තීය සමිතියට පැමිණිලි ලැබී ඇති බව ය.
"පැයකට දෙන්න තියෙන ටාගට් ප්‍රමාණය වැඩි කරන්න කියලා කියනවා. අපි දන්න හැටියට සේවකයෝ දැන් උපරිමය කරනවා. කෑම විවේකය විනාඩි 30ක් තිබුණට ඒ වේලාවෙන් විනාඩි 10කදී කෑම කාලා අපහු යනවා මැෂින් එකට, නැත්නම් ඒ ටාගට් එක ගහන්න බෑ. එයාලාට දැන් කියනවා නම් තවත් මේක වැඩි කරන්න කියලා මොකද වෙන්නේ ඊළඟට?," ඔහු විමසයි.
"අපිට පැමිණිලි ගොඩක් ලැබිලා තියෙනවා. මේගොල්ලෝ මේ භාර ගත්ත ඇණවුම් පුළුවන් තරම් ඉක්මනින් මේ මාස තුන ඇතුළේ යවන්න ඕනේ කියලා ලොකු බලපෑමක් තිබුණා වැඩපොළවල් ඇතුළේ. කාර්යක්ෂමතාව වැඩි කරන්න කියලා තිබුණේ. ඒකට විශේෂ දීමනාවක් හෝ ගෙවීමක් කළේ නෑ. සේවකයන්ට තවත් වැඩිපුර වැඩ කරන්න තමයි සිද්ධ වුණේ."
එමෙන් ම අවම සේවා කොන්දේසි යටතේ මෙම සේවකයන්ට වැඩ කිරීමට සිදුව ඇති බව ද ඔහු පැවසුවේ ය.
"ඒසී කරන්න හදපු තැන්වල දැන් වියදම අඩු කරන්න කියලා ඒසී ඕෆ් කරලා වැඩ කරනවා. අයන් කරන සෙක්ෂන් එකේ එහෙම අධික රස්නෙන් ළමයි වැඩ කරන්නේ."
කෙසේ නමුත් මෙම තත්ත්වය යටතේ පවා සේවකයන්ට පැමිණිලි කිරීමට පවා දෙවරක් සිතීමට සිදුව ඇති බව ඇන්ටන් මාකස් පවසයි.
"පැමිණිලි කරන්නත් සේවක සේවිකාවෝ බයයි. පැමිණිලි කරපු අය දැනගත්තා ම පහුවදාට ඒ යට වැඩපොළේ ඉන්න වෙන්නේ නෑ. නමුත් වෘත්තීය සමිති තියෙන තැන්වල වැඩ කරන අය අපට පැමිණිලි කරලා තියෙනවා."
ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ ප්‍රතිචාරය
ඉහත චෝදනා සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයෙන් විමසීමක් සිදු කරන ලදී.
දුරකතනය සහ විද්‍යුත් තැපෑල හරහා සිදු කළ එම කරුණු විමසීමට ලිපිය පළවන අද දින සිට දින තුනක් ඇතුළත සිය ප්‍රතිචාරය දක්වන බවට එම සංගමය ලිඛිත දැනුම් දීමක් කර තිබේ.
අමන්දිකා කුරේ | බීබීසී සිංහල