තැපැල් සේවා වෘත්තිකයන්ට වර්ධන පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම්

තැපැල් සේවා වෘත්තිකයන්ට වර්ධන පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම්

මෙරට දීර්ඝ ඉතිහාසයක හිමිකම් ඇති ශ්‍රී ලංකා තැපැල් සේවාවේ අනාගත ප්‍රගමණය සහ විධිමත්, කාර්යක්ෂම තැපැල් සේවාවක් රටතුළ ස්ථාපිත කිරීමට ලබා දිය හැකි උපරිම සහාය ලබා දෙන බව ආසියා පැසිෆික් තැපැල් සංගමයේ මහලේකම් ආචාර්ය විනයා ප්‍රකාෂ් සිං මහතා (Dr. Vinaya Prakash Singh, Secretary-General, Asian- Pacific Postal Union) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවේ පැවසී ය.

මහ ලේකම්වරයා මේ බව පවසා සිටියේ පසුගිය දා  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමු වූ අවස්ථාවේදී ය.

වත්මන් තැපැල් සේවා විෂය භාර අමාත්‍යවරයා ලෙස නලින්ද ජයතිස්ස මහතාගේ අදහසකට අනූව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ආසියානු පැසිෆික් තැපැල් සංගමය සමග එක්ව සංවිධානය කළ තැපැල් මාණ්ඩලික නිලධාරින් සඳහා හැකියා වර්ධන තෙදින පුහුණු වැඩසටහන සඳහා මෙරටට පැමිණි ආසියා පැසිෆික් තැපැල් සංගමයේ මහ ලේකම් ආචාර්ය වින්යා ප්‍රකාෂ් සිං මහතා එම පුහුණු වැඩසටහන අතරතුර අමාත්‍යවරයා හමුවිය.

මෙරට තැපැල් සේවාවට තොරතුරු තාක්ෂණය එක්කොට නව්‍යකරණය කිරීම, තැපැල් සේවාව ඩිජිටල්කරණයට ලක් කිරීම ආදී කරුණු පිළිබඳව මෙහි දී විශේෂ අවධානයක් යොමු කර සාකච්ඡා කරන ලදී.

ආසියා පැසිෆික් තැපැල් සංගමය (APPU) රටවල් 32 ක සාමාජිකත්වය දරණ අන්තර්ජාතික සංගමයයක් බව  අමාත්‍යවරයා දැනුවත් කරමින් මහ ලේකම්වරයා සඳහන් කළ අතර එම සාමාජික රටවල තැපැල් සේවාවේ සංවර්ධනය වෙනුවෙන් තම සංගමය කැපවී කටයුතු කරන බව ද  පැවසී ය.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුව යටතේ සේවය කරන සියලුම කාර්ය මණ්ඩලයේ   වෘත්තීය ප්‍රවර්ධනය වෙනුවෙන් හැකියා වර්ධන පුහුණු වැඩසටහන් ප්‍රමුඛව පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බවත්, ඒ සදහා අවශය වන සැලසුම් මේ වන විටත් සකස්කර ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී මහ ලේකම්වරයාට පැවසී ය. එම පුහුණු වැඩසටහන් ක්‍රමවත්ව හා විධිමත්ව පැවැත්වීම සඳහා අවශ්‍ය වන සහාය සංගමයක්  ලෙස නිබඳව ම ලබා දීමට කටයුතු බව ඒ මහතා අමාත්‍යවරයා හමුවේ පවසා සිටියේ ය.

අමාත්‍යවරයා හමුවීමට පෙර කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාලය ඇතුළු ස්ථාන කිහිපයක තමන් නිරීක්ෂණයේ නිරත වූ බව සඳහන් කළ මහ ලේකම් ආචාර්ය වින්යා ප්‍රකාෂ් සිං මහතා මෙරට ප්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැගිල්ල, ජාතික තැපැල් කෞතුකාගාරය ලෝක තැපැල් ක්ෂේත්‍රයේ අභිමානවත් සලකුණු බවත්, එවැනි අභිමානවත්  ස්ථාන ආරක්ෂා කරගැනීම අප සැමගේ  වගකීමක්  බව ද අවධාරණය කර සිටියේ ය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තැපැල් සේවාව ඉතා විශිෂ්ට අයුරින් ජනතාවාදීව, සේවාලාභී තෘප්තිය ඇතිවන ආකාරයෙන් එම සේවාව සිදුකරන බව තමන් මෙරට ගතකල කාලය තුල දී නිරීක්ෂණය වූ බවත්, තැපැල් සේවාවේ අනාගත අභිවෘද්ධිය සදහා භෞතික සහ මානව සම්පත් ප්‍රවර්ධනය අරභයා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මුල්‍යමය සහාය මෙන් ම අනෙකුත් සහාය ලබාදෙන බව ද මහ ලේකම්වරයා මෙහි දී පැවසී ය.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සේවාලාභී තෘප්තිය උපරිම තලයකට ගෙන ඒම සදහා නවීන තාක්ෂණය ද උපයෝගී කරගනිමින් වඩාත් නව්‍යකරණය වූ කාර්යක්ෂම, විශ්වාසනීය තැපැල් සේවාවක් ගොඩනැගීමට රජය සැලසුම්කර ඇති බවත්, එයට සමගාමීව මෙරට ස්ථාපිත ප්‍රධාන තැපැල් කාර්යාල සංවර්ධනය කිරීමේ සැලසුම් ක්‍රියාවට නංවා ඇති  බව ද  අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කර සිටියේ ය.

 මෙරට ක්‍රියාත්මක තැපැල් සේවාව වසර 200 කට අධික දීර්ඝ ඉතිහාසයකට උරුමකම් ඇති බව සදහන් කළ අමාත්‍යවරයා මෙවැනි අර්ථවත් හමුවීම් තුළින් කලාපීය තැපැල් සේවා සබඳතා වැඩිදියුණු කරගැනීමටත්, ශ්‍රී ලංකා තැපෑලට ජාත්‍යන්තර ව්‍යාපාරික අවස්ථා ලබා ගැනීමටත්, එමගින් ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රවර්ධනයට ද රුකුලක්  ලැබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහි දී සදහන් කර සිටියේ ය.

 මෙම හමුව සදහා ආසියා පැසිෆික් තැපැල් පුහුණු ආයතනයේ උපදේශක කේ.පී. සංදීප්, තැපැල්පති රුවන් සත්කුමාර, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) ප්‍රේමචන්ද්‍ර හේරත් , නියෝජ්‍ය තැපැල්පති (පාලන) චමීෂා ද සිල්වා, නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන) තුසිත හුලංගමුව, අධිකාරී (ජාත්‍යන්තර තැපැල් සේවා) සමන්මලී පෙරේරා යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.