රාජ්‍ය බැංකුවල වෘත්තීය අර්බූද විසඳනු - ලංකා බැංකු සේවක සංගමය රටවටා උද්ඝෝෂණක

cbeu-protest

රාජ්‍ය බැංකු සියල්ලෙහි ම නොවිසඳුණු අර්බුදවලට පිළියම් හා ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලංකා බැංකු සේවක සංගමය විසින් සංවිධානය කරනු ලබන උද්ඝෝෂණ මාලාවක් අද (13) පස්වරු 12.30 ට කුරුණෑගල, පුත්තලම, යාපනය, වව්නියාව, බදුල්ල හා මොනරාගල යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව මෙරට රාජ්‍ය බැංකු 6 ට අදාළ ව පසුගිය කාලයන් හි දී ඇති ව පවතින තත්ත්වයන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා දැනුවත් කරමින් කටයුතු කළ නමුත්, එම ගැටලු සඳහා විසඳුම් හෝ අවම වශයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක්වත් ලබා දීමට කටයුතු නො කිරීම මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සඳහා හේතු වූ බවයි එම සංගමය පවසන්නේ.

කෙසේ වෙතත් ලංකා බැංකු සේවක සංගමය හා ජනාධිපති ලේකම්වරයා අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව මාසයකට අධික කාලයක් ගෙවී ගියත් රජය ඒ සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගෙන මුනිවත රැකීම සංගමය ගනු ලබන මෙම ක්‍රියාමාර්ග සඳහා හේතු පාදක වී ඇති බව “WhatNews” අප කළ විමසීමක දී එම සංගමය සඳහන් කර සිටියා‍‍.

ප්‍රධාන රාජ්‍ය බැංකු ත්‍රිත්වයෙහි දිරිදීමනා පාරිතෝෂිකය සහ අසාධාරණ අයබදු සම්බන්ධ සාධනීය පිළියම් අපේක්ෂා කිරීම, 1996 න් පසුව සේවයට බඳවාගත් රාජ්‍ය බැංකු සේවකයන්ගේ විශ්‍රාම වැටුප සහ සම්පූර්ණයෙන්ම විශ්‍රාම වැටුප් අහිමි වී සිටින රාජ්‍ය බැංකු සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුව නිරාකරණය කරගැනීම මෙන්ම HDFC බැංකුවේ, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අර්බුදවලට විසඳුම් ලබා දීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මෙම උද්ඝෝෂණ මාලාව සඳහා හේතු පාදක වී තිබෙනවා.

ඊයේ දිනයේ මධ්‍යම, දකුණ හා නැගෙනහිර පළාත් මූලික කරගනිමින් මෙම උද්ඝෝෂණ මාලාව සංවිධානය කර තිබූ අතර, හෙට දිනයේ ද උතුරු මැද, සබරගමුව හා ඉස්නාහිර පළාත් මූලික කර ගනිමින් මෙම විරෝධතා ව්‍යාපාර පවත්වන බවයි එම සංගමය දන්වා සිටින්නේ.

පළාත් මට්ටමෙන් පැවැත්වෙන මෙම උද්ඝෝෂණ ව්‍යාපාරවලින් අනතුරුව ද රජය මේ සඳහා විසඳුම් ලබා නොදෙන්නේ නම්, ඒ අනුව සලකා ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබන බවත්, වැඩ වර්ජන හා කොළඹ නගරය කේන්ද්‍ර කරගත් උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කිරීමට බලාපොරොත්තුවක් ඇති බවත් ඒම සංගමය අප හමුවේ පැහැදිලි කර සිටියා.

(whatsnews)