"සත්කාරයේ ශ්‍රම සේනා" වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

cabinet-decisions

වර්ෂ 2030 වන විට සංචාරකයින් මිලියන 05ක් වාර්ෂිකව ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීමේ රජයේ උපායමාර්ගික අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා, සංචාරක හා ආගන්තුක සත්කාර අංශයේ විවිධ කාණ්ඩවල පුහුණුව ලත් පුද්ගලයින් 800,000කට අධික සංඛ්‍යාවක් අවශ්‍ය වනු ඇතැයි පුරෝකතනය කර ඇත.

කෙසේ වුවද, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය සතු ව දැනට පවතින සම්පත් සීමිත වීම හේතුවෙන් එවැනි සංඛ්‍යාවක් පුහුණු කිරීමට හැකියාවක් නොමැත. එබැවින්, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය විසින් තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) ප්‍රතීතනය ලත්, දිවයින පුරා පිහිටි රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පුහුණු ආයතනවල යටිතල පහසුකම් සහ පුහුණුකරුවන් යොදා ගනිමින්, ‘සත්කාරයේ ශ්‍රම සේනා’ නමින් ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 3 මට්ටමේ මාස 06ක වෘත්තීය පුහුණු වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කර ඇත. න්‍යායාත්මක දැනුම හා ප්‍රායෝගික පුහුණුව ද ලබා දෙමින්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ මෙන් ම මහා පරිමාණ ආගන්තුක සත්කාරක කර්මාන්තයට ද ගැළපෙන පරිදි උනන්දුවක් දක්වන තරුණ තරුණියන් සඳහා මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

ශ්‍රී ලංකා සංචාරක හා හෝටල්  කළමනාකරණ ආයතනය විසින් අධ්‍යයන කටයුතු මෙහෙයවීම හා තත්ත්ව ආරක්ෂණය පවත්වා ගනිමින්, දින 60ක් තුළ පැය 360ක් ආවරණය වන පරිදි, සිසුන් 30 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් වශයෙන් යෝජිත වැඩසටහන පැවැත්වෙන අතර, එක් සහභාගිවන්නෙක් සඳහා රුපියල් 55,832.50ක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

මෙම වැඩසටහනේ පළමු අදියර වශයෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ සමෘද්ධි ප්‍රතිලාභීන් බලගැන්වීම සඳහා වෙන් කර ඇති අරමුදල් යොදා ගනිමින් සමෘද්ධි ප්‍රතිලාභී පවුල්වල තරුණ තරුණියන් 20,000ක් සඳහා වන පුහුණුව 2025 වර්ෂය තුළ ආරම්භ කර 2026 වර්ෂය තුළදී නිම කිරීමටත්, ඉන් අනතුරුව රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්වයන්, අන්තර්නියෝජිතායතන සහයෝගිතාවන් සහ සම‑අනුග්‍රාහක අරමුදල් ක්‍රම හරහා ඉතිරි 80,000ක සංඛ්‍යාව පුහුණු කිරීමටත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදී ඇත.