ප්‍රාදේශීය මාධ්‍යවේදී සිසිර නන්දන කැලේගම මහතාට පහරදීම සමස්ත මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අනාරක්ෂිත බව හෙළි කරන්නක් - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

පොල්පිතිගම ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටීම හේතුවෙන් කුඩා දරුවෙකු මරණයට පත්වීම පිළිබඳ ලංකාදීප පුවත්පතෙහි වාර්තාකිරීමෙන් පසුව රූපවාහිනී නාළිකාවලද පළ වීම නිසා මොරගොල්ලාගම ප්‍රාදේශීය මාධ්‍යවේදී සිසිර නන්දන කැලේගම මහතා ජීවිත අනතුරකට මුහුණ දී සිටී. හෘද රෝගියෙකු ලෙස බයිපාස් සැත්කමකට ලක්ව සිටි ඒ මහතාට දරුණු ලෙස පහරදීම හේතුවෙන් මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෘද රෝග දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. ඔහු ඉතාමත් අවිනිශ්චිත තත්ත්වයක් යටතේ ආධාරක යන්ත්‍ර හා යා කොට ප්‍රතිකාර ලබාදෙමින් තිබේ. ප්‍රහාරය අවස්ථාවේ කැලේගම මහතා ගලවා ගැනීමට උත්සාහ කළ ඔහුගේ බිරිඳටද පහර දී ඇත. මෙම පහරදීමට සම්බන්ධ යැයි සැකකෙරෙන එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති නමුත් ඔහු පිළිබඳ ඔත්තු බැලූ තවත් අය සිටින බව පැවසෙන හෙයින් ඔවුන්ද අත්අඩංගුවට ගන්නා මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ශ්‍රී ලංකා පොලීසියෙන් ඉල්ලා සිටියි.
කැලේගම මහතා මෙවැනි ප්‍රහාරයකට ලක්ව ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවෙමින් දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලැබීම මෙරට සමස්ත මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අනාරක්ෂිත බව විදහා දක්වන අවස්ථාවක් ලෙසද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සළකයි. මෙවැනි බොහෝ මාධ්‍යවේදීන්ට ආයතනික, ජීවිත රක්ෂණයක් අහිමිය. නිසිකලට වැටුප් හෝ දීමනා ලැබෙන්නේද නැත. එවැනි පසුබිමක කැලේගම මහතා මුහුණ දුන් ශෝචනීය සිදුවීම පිළිබඳ බලවත් සමාජ කතිකාවක් ඇතිවීමද නීතිය ක්‍රියාත්මක කිරීම තරම්ම වැදගත් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හැඟීමයි.
එම නිසා සිසිර නන්දන කැලේගම මහතාගේ සිදුවීමට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන මෙන්ද මාධ්‍ය ආයතන මට්ටමෙන් සහ රජය මැදිහත්වෙමින් මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට හා වෘත්තීය අයිතීන් දිනාදීමට මැදිහත් වන මෙන්ද වගකිව යුතු සැමගෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටී.