වතු කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ඉඩම් කැබැල්ලක් අයිතිය පැවරීම සමාජීය අවශ්‍යතාවක් - වැවිලි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න

- මේ ශක්තිය සාමුහික ගිවිසුමේ ජයග්‍රහණ කරා රැගෙන යා යුතුයි - නිශාන්ත වන්නිආරච්චි, සභාපති ලංකා වතු සේවා සංගමය
- ඉඩම් කැබැල්ලක අයිතිය ඉල්ලන්නෙ සියවස් දෙකක් වැවිලි කරය පෝෂණය කරපු මිනිස්සු - චතුර සමරසිංහ, ප්‍රධාන ලේකම් ලංකා වතු සේවා සංගමය
අද 105 වන උපන්දිනය සමරන ලංකා වතු සේවා සංගමය වෘත්තීය සංගමයක් හැටියට තම සාමාජික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන වගේම වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ උන්නතිය ගැනත් සිතන වෘත්තීය සංගමයක්.ඒ වගේම රටේ ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් සංවේදීව කටයුතු කරන,පසුගිය කාලෙ අපේ වෘත්තීය සංගම් සමගත් සහෝදරත්වයෙන් කටයුතු කළ වෘත්තීය සංගමයක්. ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ විවිධ ආණ්ඩු වලින් කරන ඉල්ලීමක්,ඒවගේම එම ආණ්ඩූ විසින් දිගින් දිගටම නොසළකා හැරි ඉල්ලීමක් සම්බන්ධයෙන් අපේ ආණ්ඩුව අවධානය යොමු කරල තියෙනව. ඒ තමයි නිවසක් තනා ගැනීම සඳහා ඉඩම් කැබැල්ලක් ලබා දෙන ලෙසට කරන ඉල්ලීම. අපි මේ වන විට ඊට අදාලව කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරල තියෙනව. එකට යම් යම් බාධාවන් තියෙනව. නමුත් මමත්, අපේ වසන්ත සමරසිංහ සහෝදරයත් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සමග මේ ගැන කතා කරල මේ ඉල්ලීම ඔහුගේ අවධානයට යොමු කරල තියෙනව. අපි එය සමාජීය ප්‍රශ්නයක් ලෙස සලකා ඉටු කිරීමට කටයුතු කරනව. මතක තියාගන්න ඕන ඒක ප්‍රධාන කාරණාවක් තියෙනව. පාලකයින් කිසිවක් බන්දේසියක තියල පිළි ගන්වන්නේ නෑ. ඉල්ලීම් දිනා ගැනීම සදහා අඛණ්ඩව සටන් කළ යුතුයි.
| අමාත්‍ය සමන්ත විද්‍යාරත්න | චතුර සමරසිංහ | නිශාන්ත වන්නිආරච්චි
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මෙසේ සඳහන් කලේ පසුගිය 07 දා හැටන් නගරයේ පැවැති ලංකා වතු සේවා සංගමයේ 105 වන සංවත්සර උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් ආරාධිත දෙසුම පවත්වමිනි.
ලංකා වතු සේවා සංගමයේ 105 වන සංවත්සර සැමරුම උත්කර්ෂවත් අන්දමින් හැටන් නගරයේ පිහිටි අජන්තා හෝටල් ශ්‍රවණාගාරයේ පැවැත්වුණු අතර ඒ සඳහා මධ්‍යම කඳුකරය ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක වතුවල සේවයේ නිරත වතු කාර්ය මණ්ඩල සාමාජිකයින් දහසකට වැඩි පිරිසක් සහභාගීව සිටියහ. සංගමයේ සාමාජිකයින්ගෙන් උත්සව ශාලාව පිරී පැවති අතර ශාලාවෙන් පිටතද විශාල පිරිසක් රැස්ව සිටියහ.
" සියවසක පන්නරය නව ලොවක බිහි දොරට " යන්න තේමා කර ගනිමින් පැවැත්වූ මෙම සැමරුම් උළෙල සදහා සංගමයේ වර්ථමාන නායකයින් සහ හිටපු නායකයින් සහභාගී වූ අතර ජාතික සහ ජාත්‍යන්තර වෘත්තීය සමිති රැසක් සුබ පැතුම් එක්කර තිබිණි.
එහිදී කතා කළ සංගමයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි මහතා,
සංගමය මේ ගමන ආවෙ දුෂ්කරතා මධ්‍යයේ. අතීත නායකයින් ඒ වගේම අතීත සාමාජිකයින් ඒ වෙනුවෙන් විශාල කැපකිරීම් කළා.වර්ථමානයේ අපට පැවරිලා තියෙන වගකීම තමයි ඒ ආකාරයෙන්ම කැපවීමෙන් වැඩ කරලා තවත් පරපුරකට සංගමය භාර දෙන එක. අපිට මේ ශාලාව දකින කොට පේනව ඒ සඳහා සූදානම් ජවාධික සාමාජික පිරිසක් සිටින බව. වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා කීවාක් මෙන්ම පාලකයින් කිසිවක් බන්දේසියක තබා පිළි ගන්වන්නේ නැහැ. අපි සටන් කොට සියල්ල දිනාගත යුතුයි. මෙතන රැස්ව සිටින සමාජිකයන් තුළ වගේම මෙතන අද නොමැති සාමාජිකයින් තුළත් අද දැවෙන ප්‍රශ්නක් බවට පත්ව තිබෙනවා එළඹෙන සාමුහික ගිවිසුමෙන් වර්ථමාන ජීවන වියදමට සරිලන වැටුපක් දිනා ගැනීම. අපි ඒ සඳහා සූදානම් විය යුතුයි.
සංගමයේ වත්මන් ප්‍රධාන ලේකම් චතුර සමරසිංහ සංවත්සර සභාව අමතමින් අවුරුදු 105ක් පැරණි වුණත් දවසින් දවස අලුත් වෙන, ඒ වගේම ඓතිහාසික උරුමය රැක ගනිමින් පියවරෙන් පියවර නුතනත්වය කරා ගමන් කරන සංගමයක් තමයි ලංකා වතු සේවා සංගමය කියන්නෙ. මීට වසර 5කට පෙර කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සංගමයේ සියවස සැමරුවේ කොරෝනා වසංගත සමයේ. එදා ඒ සැමරුමට අපේ සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී වුණේ තාක්ෂණික මෙවලම් ඔස්සේ.නමුත් අද මේ ශාලාවෙ අතුරු සිදුරු නැතිව පිරී සිටින,ඒ වගේම ශාලාවෙන් පිටත රැඳී සිටින අපේ සාමාජිකයින් පෙන්වන්නේ සංගමය සමග ඔවුන් තුළ ඇති බැඳීම. අපි සතුටු වෙනව වැඩකරන පන්තියේ ආණ්ඩූවක් යටතේ මේ සැමරුම කරන්න ලැබීම ගැන. අපිට වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුව දකින්න ඕන වගේම එහි වර්ධනය වෙනුවෙන් සිය කායික මෙන්ම බුද්ධිමය ශ්‍රමය වගුරුවන වතු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ජීවිතවල දියුණුවත් දකින්න ඕන. ඔවුන් වෙනුවෙන් වන අපේ පෙනී සිටීම් බොහොමයක් තියෙනව.නිවසක් තනා ගැනීමට ඉඩම් කොටසක් ඉල්ලා සිටිම ඉන් එකක්. ඒක ඉතාමත්ම මානුෂීය ඉල්ලීමක්. මේක නිකම් ඉඩම් කෑල්ලක් ඉල්ලා සිටීමකට ලගු කරන්න එපා.අපි ඉල්ලන්නෙ සියවස් දෙකක්, අවුරුදු 200ක් තිස්සේ පරම්පරා කිහිපයක් මේ බිමේ පෝෂණය වෙනුවෙන් හෙලපු ලේ, කඳුළු, දහඩිය වෙනුවෙන් බිම් අඟලක් අයිතියක්. ඒකයි අපි ඒක අති මානුෂීය ඉල්ලීමක් ලෙස අර්ථකතනය කරන්නෙ. මේ සිහිනය සැබෑ කළ හැකි, කළ යුතු ආණ්ඩුව මේක කියල අපි විශ්වාස කරනව.
මෙහිදී සංගමයේ හිටපු සභාපතිවරයෙකුවූ පී.ජී.දසනායක මහතාද සංවත්සර සභාව අමතා කතා කරන ලද අතර සංවර්ධන උපදේශක,සමාජ ක්‍රියාකාරික ලලිත් අබේසිංහ මහතා " වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ අනාගතය " මැයෙන් සංවත්සර දේශනය පවත්වනු ලැබීය.