මහජන සෞඛ්‍ය පරීක්ෂක වෘත්තිය කඩිනමින් ජාත්‍යන්තර මට්ටමට ගෙන ආ යුතුයි - සෞඛ්‍ය අමාත්‍ය

phi-agm
  • ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ  90වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ  90 වන සංවත්සරය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කඩවත, “රෝස් ගාඩ්න්” උත්සව ශාලාවේ දී  පැවැත්විණි.

මෙහි දී දීර්ඝ කාලයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස සේවය කළ නිලධාරීන් අගය කිරීමට ලක් කළ අතර ඔවුන් හට සමරු තිළිණ ද අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් ප්‍රදානය කරන ලදී. එමෙන් ම ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ   Voice of Public Health, face book පිටුව සහ youtube නාලිකාව ද අමාත්‍යවරයා විසින් මෙහි දී  එළිදක්වන ලදී.

මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව මෙහෙයවීමේ දී එහි දිශානතියේ  යම් වෙනසක් සිදුකළ යුතු බව පැවැසීය. එහි දී පුරවැසියාගේ දෘෂ්ථි කෝණයෙන් බලා එය සිදුකිරීමට අපේක්ෂා කරන බවත්, එම  විශේෂ වැඩපිළිවෙල යටතේ ඉදිරි වසර තුන තුළ දී වැඩි අවධානයක් සහ ප්‍රමුඛතාවයක් ක්ෂේත්‍රයේ කටයුතු කරන සෞඛ්‍ය වෘත්තිකයන්ට ලබා දෙන බවත්, එම වෘත්තියන්හට ඒ වෙනුවෙන් සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකිරීමට පැවරෙන බවද පැවසී ය.

වත්මන් රජය ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය ගැටළු විසදීම සදහා ප්‍රමුඛත්වය දී කටයුතු කරන බවත්, එහි දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස  වසර 112ක ලද  අත්දැකීම් ද උපයෝගී කරගන්නා බවත්, මේවන විට  මහජන සෞඛ්‍ය පරීක්ෂක වෘත්තිය ජාත්‍යන්තර වශයෙන් දියුණු වී තිබෙන ස්ථානයට මෙරට මහජන සෞඛ්‍ය පරීක්ෂක වෘත්තිය ද කඩිනමින් ගෙන එ්මේ අවශ්‍යතාවය පිළිබදව ද අමාත්‍යවරයා ‍මෙහි දී අවධාරණය කර සිටියේ ය.

අධ්‍යාපනය, පුහුණුවීම යන දෙඅංශයෙන්ම සෞඛ්‍ය සේවාවේ නියැලී සිටින සියලු වෘත්තිකයන් ඉහළ වෘත්තීමයභාවයක් ලැබිය යුතු බවත්, මෙහි දී අවධාරණය කළ අමාත්‍යවරයා මේ වනවිට අතරමග නැවතී ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂක උසස් ඩිප්ලොමාව, උපාධියක් දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව ද පැවසී ය.

එහි පවතින ප්‍රායෝගික ගැටළු විසදාගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂක වෘත්තීයට පැමිණෙන සියලු දෙනා ඉහළ වෘත්තීමයභාවයක් සහිත වෘත්තිකයෙක් බවට පත්කළ යුතු බවත්, එහි දී පවතින ප්‍රායෝගික ගැටළු නොසලකා හරිමින් හුදු දේශපාලන සටන් පාඨයන් ලෙස ගෙන කටයුතු කිරීම තුළින් එම ක්‍රියාවන් ක්‍රියාත්මක කර ගැනීමට සැලකිය යුතු කාලයක් ගතවන බව ද අවධාරණය කර සිටියේ ය.

මෙරට ට ශක්තිමත් රාජ්‍ය සේවාවක අවශ්‍යතාවය පෙන්වා දුන් අමාත්‍යවරයා එහි දී  පනත්වල තිබෙන යම් යම් යල්පැනගිය තත්ත්වයක් නිරාවරණය කර ගැනීමේ අවශ්‍යතාවය ද පෙන්වා දෙන ලදී. ඉදිරි මාස කිහිපය ඒ සදහා යෙදවීමට කටයුතු කරන බව අවධාරණය කළ අමාත්‍යවරයා සමහර පනත්වල තිබෙන කරුණු වත්මන්  සංවර්ධනයට බාධාවක් වන බව ද පැවසී ය.

මහජන සෞඛ්‍ය පරීක්ෂක රාජකාරී කටයුතු කාර්යක්ෂමව, පහසුවෙන් කරගෙන යාමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස බලාපොරොත්තුවන බව සදහන් කළ අමාත්‍යවරයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පවතින කාර්යාල පහසුකම්, යතුරු පැදි වැනි ගැටළුවලට කඩිනමින් විසදුම් ලබා දීමට පියවර ගන්නා බව ද පැවසී ය.

රටක ආර්ථිකය ස්ථාවර වනවිට,  ආර්ථිකය සවිමත් වනවිට  එහි  ගුණාත්මකභාවය පිළිබද ප්‍රධාන වශයෙන්ම අවධානය යොමුකළ යුතුබවත්, විශේෂයෙන්ම මහජන සෞඛ්‍ය සේවාවෙන් එය  බලාපොරොත්තු වන බව ද පැවසී ය. ආර්ථිකය වර්ධනය වන වේගයට සාපේක්ෂව එහි ගුණාත්මක තත්ත්වය ද ඉහළ යායුතු  යුතුබව පෙන්වා දුන් අමාත්‍යවරයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නීති මගින්  ඊට අවශ්‍ය බලය ලබා දී තිබෙන බව ද පැවසීය.

ආහාරවල සිට ජනතාවට සැපයෙන සේවාවන්වල ගුණාත්මකභාවය වැඩිකිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද සඳහන් කළ අමාත්‍යවරයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්  උගත්, බුද්ධිමත් වෘත්තිකයන් පිරිසක්  බැවින් එම කාර්යය ඉටුකිරීමේ දී  ප්‍රවේසම්   විය යුතු ස්ථාන තිබෙන බව ද පෙන්වා දෙන ලදී.