රෝහල් පද්ධතිය කලමණාකරණය කර ගනිමින්, රෝගියාට ඉහළම රෝගී සත්කාර සේවාවක් ලබාදීමට තමන්ගේ කාර්ය මණ්ඩලය මෙහෙයවීම මෙම පිරිසෙන් බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
හෙද සේවාවේ වාටටු කලමණාකරණ සහ අධීක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා හෙද හෙදියන් 515 දෙනෙකු පුහුණුවට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කොළඹ පශ්චාත් ප්‍රාථමික හෙද විදුහලේ දී සිදු කෙරිණි.
සායනිකව විශේෂිත වූ පූර්ණ කාලීන ඩිප්ලෝමා පාඨමාලා සහ උසස්වීම් ඉලක්ක කර ගත් වසර එකහමාරක පුහුණු පාඨමාලා අතර, වාට්ටු කලමණාකරණ හා අධීක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා හෙද හෙදි නිලධාරීන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් පවත්වන ලද විශේෂිත තරඟ විභාග ප්‍රතිඵල කුසලතා මත 177 ක් සහ ඡ්‍යෙෂ්ඨතාව මත 338 ක් වශයෙන් තෝරා ගැනීම සිදු කර ඇත.
මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ මෙම පුහුණූවට බඳවා ගැනීමේ පත්වීම්ලාභී හෙද හෙදියන් සියලු දෙනා දිවයිනේ විවිධ ප්‍රදේශවල රෝහල්වල සේවය කරන පිරිස් ලෙස දුෂ්කරතා මධ්‍යයේ වුව ද යම් කැපවීමක් සහිතව පුහුණුව ලබාගන්නා පිරිසක් බවත්, රෝහල්වල රාජකාරී වලට වඩා වසර එකහමාරක පුහුණූව තුළ විවිධ ආකාරයේ කැපකිරිම් කිරීමට සිදු වන බවයි.
ඉදිරි වසර 03 තුළ සෞඛ්‍ය සේවාවේ ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව දැනෙන පරිවර්තයක් සිදු කිරිමට සැලසුම් සකස් කරමින් මුලික පියවර රැසකට අවතීර්ණ වී ඇති බවත්, ලෝකයේ දියුණුව කරා ගොස් ඇති සෑම රටක්ම එම දියුණුවට යාමේ දී ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ සිදුවන පරිවර්තනය වැදගත් වී ඇති බව ද පෙන්වා දෙන ලදි.
සෞඛ්‍ය විෂයට අදාළ ආයතන රේඛීය අමාත්‍යාංශයෙන් පාලනය වුවත්, පළාත් සභාවෙන් පාලනය වුවත්, ත්‍රිවිධ හමුදාවේ, බන්ධනාගාර රෝහලේ හෝ වෙනත් ආයතන මඟින් සෞඛ්‍ය සේවා ලබාදුන්නත් යම් පිළිවෙළකට මෙහෙයවීමෙන් පමණක් ජනතාවට හොඳම දේ ලැබෙන බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා රටේ ජනතාවගේ බදු මුදල් වලින් සැලකිය යුතු මුදලක් වෙන් කර ගොඩනැගිලි, වෛද්‍ය උපකරණ වැනි භෞතික සම්පත් හා කාර්ය මණ්ඩල බඳවා ගැනීම් සිදු කරන අතරම ඒ හා සමාන අවධානයක් ගුණාත්මක පාර්ශ්ව දියුණු කිරීම සඳහා යොමු කළ යුතු බව ද පැවැසීය.
ජනතාව රෝහලක දී අවධානයක් සහ සැලකිල්ලක් බලාපොරොත්තු වන බවත්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල තුළින් ඒ දේ නොලැබුණ විට මොන තරම් සම්පත් තිබුනත් එයින් සෑහීමකට පත් නොවන බැවින් ඕනෑම රෝගයකට ප්‍රතිකාර කිරීමේ දී මානසික අංශය තෘප්තිමත් කිරීම පිළිබඳවත් අවධානය යොමු කිරීම වැදගත් බව ද පෙන්වා දෙන ලදි.
මෙම න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව තුළින් රෝහල් පද්ධතිය කලමණාකරණය කර ගනිමින්, රෝගියාට ඉහළම රෝගී සත්කාර සේවාවක් ලබාදීමට තමන්ගේ කාර්ය මණ්ඩලය මෙහෙයවීම බලාපොරොත්තු වන බවත්, මෙම පුහුණුව වෘත්තීය ජීවිතයේ ඉදිරි පියවරක් පමණක් නොව මින් ඉදිරියට එහි වගකීම බාරගෙන එහි අරමුණ ඉහළින්ම ඉෂ්ට කරණූ ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.
කොළඹ පශ්චාත් හෙද විදුහල ශ්‍රී ලංකාවේ විසිර පවතින සෞඛ්‍ය ආයතනවල හෙද හෙදි නිලධාරීන්ට උසස් අධ්‍යාපනය සැපයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින එකම උසස් අධ්‍යාපන ආයතනය වේ.
හෙද සේවා ව්‍යවස්ථා විධිවිධාන පරිදි I වන ශ්‍රේණියේ / අධි ශ්‍රේණියේ හෙද නිලධාරි (රෝහල් සේවා) තනතුරට (හෙද සොයුරු/සොයුරි) පත් කිරීම සඳහා පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල මඟින් පවත්වන වසර එකහමාරක වාට්ටු කළමණාකරණ අධීක්ෂණ (මාස 12) වින්නඹු කර්මය / මානසික හෙදකම (මාස 06) අඩංගු පාඨමාලාව හෙද නිලධාරීන් විසින් සම්පූර්ණ කළ යුතුය.
පුහුණූවට තෝරාගෙන ඇති මෙම නිලධාරීන්ට වැටුප් හා ජීවන වියදම් තම නිත්‍ය සේවා ස්ථානයෙන් ගෙවනු ලබන අතර, නියමිත පරිදි වැටුප් වර්ධක ද ලබාදෙනු ඇත. පුහුණුව අවසන් කර හෙද සොයුරු / සොයුරි තනතුරට පත් කිරීමේ දී පළාත් සභා රෝහල් වෙත තේරී පත් වූ මධ්‍යම රජයේ නිලධාරීන් එම පළාත් සභා වෙත මුදාහරිනු ඇත.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම් චාමික එච් ගමගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හර්ෂප්‍රිය සිසිර කුමාර, අධ්‍යක්ෂ (හෙද පාලන) රමේෂ් විඡේසිංහ, අධ්‍යක්ෂ (හෙද අධ්‍යාපන) සුනිල් ශාන්ත, අධ්‍යක්ෂ හෙද (වෛද්‍ය සේවා) එම්.බී.සී සමන්මලී, පශ්චාත් හෙද විදුහලේ විදුහල්පති ඩබ්ලිව්.එන් විමලරත්න, කොළඹ හෙද විදුහලේ විදුහල්පති ටෙක්ලා තිලකරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියහ.