කුලීරථ රියදුරන් යනු මෙරට සංචාරක කර්මාන්තයේ කොඳු නාරටියයි - ශ්‍රී ලංකාවේ ඇප් ප්‍රවාහකයන්ගේ ශාකා සමිතිය
කුලීරථ රියදුරන්ගේ ජීවන අරගලය හෑල්ලුවට ලක් නොකරන්න - ඇල්ල සිද්ධිය සහ ඒ පිටුපස ඇති සැබෑ ඛේදවාචකය පිළිබඳව කෙරෙන පැහැදිලි කිරීමක් කරමින් ශ්‍රී ලංකාවේ ඇප් ප්‍රවාහකයන්ගේ ශාකා සමිතිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, වර්තමානයේ කුලීරථ ක්ෂේත්‍රය තුළ, විශේෂයෙන්ම ඇල්ල වැනි සංචාරක කලාපවල හටගෙන ඇති නොසන්සුන්කාරී තත්ත්වයන් පිළිබඳ පලවන වාර්තාකරණයන් නිරීක්ෂණය කිරීමේදී එහි සැබෑ මුල් පදනම සහ රියදුරන් මුහුණ දී ඇති ආර්ථික පීඩනය පිළිබඳව නිසි අවධානයක් යොමුවී නොමැති බැව් අප සංගමය නිරීක්ෂණය කරමු.
කුලීරථ රියදුරා යනු අතීතයේ සිටම මගියා සමඟ මානුෂීය බැඳීමක් පවත්වා ගනිමින්, තමාගේ දෛනික වියදම් සහ වාහන නඩත්තු පිරිවැය මත පදනම්ව සාධාරණ සේවාවක් සැපයූ පුද්ගලයෙකි. එහෙත් 2015 වසරේ සිට මෙරටට ආගමනය වූ බහුජාතික සමාගම් සහ අතරමැදි යෙදවුම් (Apps), රියදුරාගේ ශ්‍රමයට ලැබිය යුතු නිසි වටිනාකම තීරණය කිරීමේ අයිතිය උදුරාගෙන ඇත. ඔවුන් තීරණය කරන අසාධාරණ අඩු ගාස්තු හමුවේ, අද වන විට සාමාන්‍ය රියදුරෙකුට තමාගේ දරුවන්ගේ කිරි පැකට්ටුව පවා ලබා ගැනීමට නොහැකි මට්ටමට ආර්ථිකය කඩා වැටී ඇත.
ඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ අවාසනාවන්ත සිදුවීම, හුදෙක් පුද්ගලයන් අතර ඇති වූ ආරවුලක් නොව, වසර ගණනාවක් තිස්සේ සිය වෘත්තිය ගරුත්වය හා ජීවත්වීමේ අයිතිය රැක ගැනීමට වෙහෙසෙන පීඩිත රියදුරන්ගේ වේදනාවේ පිපිරීමකි. මෙහිදී රියදුරන් "මැරයන්" ලෙස හුවා දැක්වීමට ඇතැම් පාර්ශව උත්සාහ කළද, සැබෑ මැරයන් වන්නේ තාක්ෂණයට මුවා වී රියදුරාගේ ශ්‍රමය සූරාකන සහ ඒ සඳහා නිසි නියාමනයක් ලබා නොදෙන බලධාරීන්ය.
මාධ්‍ය ආයතන වෙතින් ද අප කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙම සිදුවීම් වාර්තා කිරීමේදී එක් රියදුරු කොට්ඨාශයක් පමණක් වැරදිකරුවන් ලෙස හුවා නොදක්වා, ඔවුන් පත්ව ඇති අගාධය සහ මෙම අර්බුදයට පිළියම් සෙවීමට බලධාරීන් අපොහොසත් වීම පිළිබඳවද ප්‍රශ්න කරන ලෙසය හා පොලිසිය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන පක්ෂග්‍රාහීව කටයුතු කරන ආකාරය සහ රියදුරන්ගේ මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරය පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් ය.
කුලීරථ රියදුරන් යනු මෙරට සංචාරක කර්මාන්තයේ කොඳු නාරටියයි. ඔවුන්ව දරිද්‍රතාවයේ අගාධයට ඇද දමා රටක් ලෙස අපට ඉදිරියට යා නොහැක. එබැවින් අපගේ නිර්දෝෂීභාවය සහ සාධාරණත්වය වෙනුවෙන් හඬක් නැගීමට සහාය වන ලෙස සියලුම මාධ්‍ය ආයතනවලින් අපි ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
ශ්‍රී ලංකාවේ ඇප් ප්‍රවාහකයන්ගේ ශාකා සමිතිය විසින් මානව හිමිකම් කොමිසම වෙත යවන ලිපිය පහත LINK එකෙන් දැක්වේ.

