විකිරණ තාක්ෂණවේදීන් අඛණ්ඩ වෘත්තීය අරගලයකට සැරසෙයි

විකිරණ තාක්ෂණවේදීන් අඛණ්ඩ වෘත්තීය අරගලයකට සැරසෙයි

මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙස රාජකාරී ආවරණය කරන පුද්ගලයා විසින් සිදුකළ නීති විරෝධී සහ විෂමාචාරී ක්‍රියාව සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් සිදු කළ යුතු බවත් ඒ සඳහා ඔහු එම තනතුරෙන් සහ රෝහලෙන් තාවකාලිකව හෝ ඉවත් කළ යුතු බවත් සෞඛ්‍ය නියෝජ්‍ය මැතිවරයා සමග 21 වෙනිදා පැවති සාකච්ඡාවේදී පෙන්වා දෙන ලදී. එහිදී  සතියක කාලයක් තුළ ඒ සම්බන්ධයෙන් තීරණය ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා විසින් පොරොන්දු වුවද මේ වනතෙක් ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කර නොමැති බව රජයේ විකිරණ විද්‍යා  තාක්ෂණවේදීන්ගේ සංගමය චෝදනා කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ,

ඒ අනුව පෙනී යන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් තවදුරටත් මෙලෙස වැරදි කරන පුද්ගලයන් ආරක්ෂා කිරීමට කටයුතු සිදුකරන බවයි. අක්කරේපත්තු රෝහලේ අධ්‍යක්ෂකවරයා සම්බන්ධයෙන් එක් තීන්දුවකුත් මාලිගාවත්ත රෝහලේ නියෝජ්‍යත් දක්ෂක ධූරය දරන පුද්ගලයා සම්බන්ධයෙන් එක්ක් තීරණයකුත් ගැනීම තුළ එය මනාව පැහැදිලි වෙයි.

ඒ අනුව 28 වෙනිදා උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්හි විකිරණ තාක්ෂණවේදීන් මෙම ගැටළුවට විසඳුම් ලැබෙන තෙක් අඛන්ඩව වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

එසේම සෞඛ්‍ය සේවාව තුළ මෙලෙස අනීතික සහ විෂමාචාරී ක්‍රියාවන්හි නිරත පුද්ගලයන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග සහ එවැනි පුද්ගලයන්ට ආරක්ෂාව සපයන සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් පිළිබඳව විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අවධානයෙන් සිටින බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටී. වර්ජනය හේතුවෙන් රෝගී සත්කාර සේවාවන්ට සිදුවන බලපෑම සම්බන්ධයෙන් සියලු වගකීම් තම වගකීම පැහැර හැරි සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් භාරගත යුතු බවද මහජනතාව වෙත දන්වා සිටී.